Showing posts with label ඇස් අද මුත් ඇස් දහසක් ඇති සේ. Show all posts
Showing posts with label ඇස් අද මුත් ඇස් දහසක් ඇති සේ. Show all posts

Wednesday, 26 September 2018

එකොළොස් වැනි දිගහැරුම (#11)

බෝවන අක්ෂි රෝගය (ඇස් ලෙඩ) සහ ඇස් කැසීම (අක්ෂි ආසාත්මිකතාවයන් )
✻✻✻✻✻✻✻✻✻✻✻✻✻✻✻✻✻

මෙලෙස බෝවන අක්ෂි රෝගයක් සෑදුනු පසුව එමගින් තමන්ට දැනෙන අපහසුතාවය කුඩා වුවත් එය සදහා ඔබ වෛද්‍යවරෙක් හමුවිය යුතුය.ඊට හේතුව වන්නේ ,අක්ෂි ප්‍රදාහය මගින් අතුරු ආබාධ ඇති නොකලත් දීර්ඝකාලීන අක්ෂි රෝගය මගින් ඇසට අතුරු ආබාධ ඇතිකළ හැකිය.

(මෙම මාතෘකාවට අදාළ මුල් කොටස පෙර ලිපිය වූ දසවෙනි ලිපියේ (#10) ඇත.මෙම ලිපිය අවසානයේ එයට අදාල LINK එක ඇත.)

මෙම දීර්ඝකාලීන අක්ෂි රෝගය මගින් සමහර අවස්ථා වලදී අතුරු ආබාධ ඇතිකිරීමට හේතු වන්නේ එම රෝගය සාදන්නේ බැක්ටීරියාවක් (Bacteria ) නිසාය.

බෝවන අක්ෂි ආබාධ (අක්ෂි ප්‍රදාහය හෝ දීර්ඝකාලීන අක්ෂි රෝගය ) මගින් වෛද්‍ය ප්‍රතිකාර නොකිරීමකදී ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳව සලකමු .

1. දීර්ඝකාලීන අක්ෂි රෝගයේ( දීර්ඝකාලීන ඇස් ලෙඩ ) අතුරුප්‍රතිඵලයක් ලෙසට කළුඉංගිරියාව ආශ්‍රිතව සුදු පුල්ලි ඇතිවිය හැකිය.මෙහි ප්‍රතිඵලයක් ලෙසට ඇසේ පෙනීමට බාධා ඇතිවේ.මෙම සුදු පුල්ලි ඉවත් කිරිම සදහා කල්ගත වේ.

2. දීර්ඝකාලීන ඇස් ලෙඩේ තවත් අතුරුප්‍රතිඵලයක් වන්නේ කළුඉංගිරියාව ආශ්‍රිතව කළුළප ඇතිවීමයි.එමගින්ද ඇසේ පෙනීමට බාධා ඇතිකරයි.කල්ගත වී මෙම කළුළප ඉවත් කලත් ඒවා නැවත නැවතත් මතුවිය හැකිය.එමනිසා දීර්ඝකාලීනව ඇස් පෙනීම දෝෂ සහගත වේ.

3. කළුඉංගිරියාව තුවාල වීමක්ද මෙම ඇස් ලෙඩේ අතුරුප්‍රතිඵලයක් ලෙසට සිදුවිය හැකිය.

4. ඇසේ කුනිතය (ස්වච්චය ආශ්‍රිතව ) මත තුවාල ඇතිවීම හෝ එම ඇතිවූ තුවාල වර්ධනයක් වීම.ඇස අන්ධ වීමට ඇති එක්තරා මාර්ගයක් වන්නේ මෙම කුණිතය ආශ්‍රිත තුවාල ඇතිවීමයි.

මෙවැනි අක්ෂි රෝග වලදී වෛද්‍ය නිර්දේෂයකින් තොරව ස්ටෙරොයිඩ අඩංගු ඖෂධ වර්ග නොගත යුතුය .එමගින් ඇසේ පීඩනය ඉහල ගොස් Glucoma රෝගී තත්වයක් බවට මෙය වර්ධනය විය හැකිය.

එක් අවස්ථාවක් මෙවැනි බෝවන අක්ෂි රෝගයක් සෑදුනු පසුව නැවතත් සෑදීමේ ඉඩකඩක් පවතී.

එයට හේතුව වන්නේ මෙවැනි බෝවන අක්ෂි රෝග සෑදීමට එක් ව්‍යාධිජනකයෙකු නොව ව්‍යාධිජනකයින් වර්ග කීපයක් සහභාගී වන බැවිනි.එමනිසා අවශ්‍ය වන්නේ රෝගය සෑදුනු පසු හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතීමයි.

බෝවන අක්ෂි රෝගයක් සෑදුනු පසුව පොතපත පරිහරණය පිළිබඳව කෙනෙකු තුළ ගැටළුවක් පවතී.පොතපත පරිහරණය කිරීමේදී අදාල රෝගියාගේ ඇසට වේදනාවක්,අධික ලෙස කබ හෝ කදුළු ගැලීමක් සිදුනොවේනම් පොතපත පරිහරණය කලාට කිසිදු වෛද්‍යමය ගැටළුවක් නැත.

නමුත් ,මෙහිදී පොදු පොත්පත්,පුස්තකාල පරිහරණය සිදුනොකළ යුතුය .එමගින් වන්නේ රෝගය තවදුරටත් ව්‍යාප්ත කිරීමකි.

බෝවන අක්ෂි රෝග සහ බෝනොවන අක්ෂි රෝග වලට අමතරව ඇස ආශ්‍රිතව පවතින තවත් රෝගී තත්වයක් වන්නේ " ඇස කැසීම සමග ඇසෙන් කදුළු ගැලීමයි ".මෙය Allergic Conjuncitivitis තත්වයක් ලෙසට හදුන්වයි.මෙම තත්වය සම්පූර්ණයෙන්ම ඇතිවන්නේ ආසාත්මිකතාවයක්(Allergic) නිසාය.

මෙවැනි ආසාත්මිකතාවයක් නිසා ඇස කැසීම හා ඇසෙන් කදුළු ඒම තත්වයේ සාමාන්‍ය රෝගී ලක්ෂණ පහත පරිදි වේ .

1. ඇස් කැසීම.

2. ඇසෙන් කදුළු ඒම.

3. ඇස කෙවීම.

4. ඇස රතු වීම හා තරමක් ඇස ඉදිමීම.

5. ඇස තරමක් වේදනාකාරී වීම.

6. ආලෝකය දෙසට බැලීමට නොහැකි වීම.


මෙවැනි ආසාත්මිකතාවයන් හා බෝවන අක්ෂි රෝගය සාමාන්‍යයෙන්,වෛද්‍ය පරීක්ෂණයකින් තොරව හදුනාගත හැකි එකිනෙකට වෙනස් වූ රෝග ලක්ෂණ කීපයක් පවතී .

1. බෝවන අක්ෂි රෝගයේ තරම් ඇසේ වේදනාවක් මෙම ආසාත්මිකතාවයන් හිදී ඇතිනොවේ.

2. ඇසේ කහවන් පැහැයට කබ ගැලීමක් මෙම ආසාත්මිකතාවයන්හිදි සිදු නොවන තරම් වේ.(සුළු වශයෙන් විය හැකි වුවත් එය අධික ලෙසට සිදුනොවේ.)

3. ආසාත්මිකතාවයන් හිදී ඇසෙන් කදුළු ගැලීම සාමාන්‍යයෙන් අධිකව සිදුවිය හැකිය.

මෙවැනි ඇසේ ආසාත්මිකතා ඇතිවීම සදහා බලපාන හේතු රාශියක් පවතී.

1. ගෘහාශ්‍රිතව ඇතිකරන සුරතල් සතුන් මගින්

2. සමහර ආහාර මගින් (මෙය පුද්ගලයා මත රදාපවතී.)

3. දුහුවිල්ල මගින් හා විවිධ ආගන්තුක ද්‍රව්‍ය මගින් (මල් පරාග,දුම්,පුළුන් ආදිය )

4. අක්ෂි ආබාධ සදහා ඇසට යොදන සිවි කාච මගින්

5. අනවශ්‍ය ලෙසට භාවිතා කරන සුවද විලවුන්,රූපලාවණ්‍ය ද්‍රව්‍ය හා සමට භාවිතා කරන සමහර ඖෂධ වර්ග

ඇදුම ,එක්සීමා වැනි රෝගීන් හට මෙවැනි ඇසේ ආසාත්මිකතා සෑදීමේ වැඩි සම්භාවිතාවයක් පවතී.එමනිසා ඔවුන් පෙර කී ඇසේ ආසාත්මිකතාවයන් ඇතිකරන හේතු වලින් හැකිතාක් වැලකිය යුතුය .

මෙවැනි ඇසේ ඇතිවන ආසාත්මිකතාවයන්ගෙන් වැලකිය හැකි ඖෂධ වලට වඩා ඇති හොදම ක්‍රමය වන්නේ රෝගය ඇතිවන හේතු පිළිබඳව ඇති දැනුවත්භාවයයි.

එහිදී පහත ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් මෙවැනි අක්ෂි ආසාත්මිකතාවයන් වලින් වැලැක්විය හැකිය.

• ගෘහාශ්‍රිතව ඇතිකරන බළලුන් , අධික ලෝම සහිත සුනඛයන් නිවස ඇතුලත පවතින ඇදන් මතට,පුටු මතට පැමිණීම වැලැක්වීම.මෙවැනි රෝගී පුද්ගලයින් හැකිතාක් දුරට ඉහත කී ලෝම අධික සතුන් සුරතල් කිරීමෙන් වැලකීම.

• වැඩි වශයෙන් මෙවැනි රෝගීන් ගැවසෙන නිවස ඇතුල,සේවා ස්ථාන හැකිතාක් දුරට දුහුවිලි වලින් තොරව පිරිසිදුව පවත්වා ගැනීම.

• පරාග ,පුළුන් ,දුම වැනි දේවල් වලින් බොහෝ දුරට ඈත්ව වාසය කිරීම .

• විවිධ අක්ෂි ආබාධ සදහා ඇසට යොදන සිවිකාච වල ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් විම.

• සුවද විලවුන් සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතයට පෙර තමන්ගේ ශරීරයට ආසාත්මිකතාවයන් ඇති නොකරන්නේ දැයි සුළු පරීක්ෂණයක් සිදුකිරීම .

බොහෝ දුරට පාසල් ළමුන් අතර මෙම අක්ෂි ආසාත්මිකතාවයන් බහුලව පවතී .එයට ප්‍රධානතම හේතුව වන්නේ ,වැඩිහිටියන්ට වඩා ඔවුන් ක්‍රියාශීලී සහ ක්‍රීඩාසම්පන්න වීම නිසා ඔවුන් බාහිර විවෘත පරිසරය සමග ගැටෙන සම්භාවිතාවය වැඩි වීමයි.

ඉතිරිය ඊලඟ ලිපියෙන්  ❃❃❃❃❃❃❃❃❃❃❃❃

D.H.S.L

දසවෙනි ලිපිය (#10) මෙතනින් බලන්න .

Facebook ඔස්සේ නව ලිපි පරිශීලනය සදහා "දිනපොත - Dairy" පිටුව සමග මෙතනින් සම්බන්ධ වන්න.


Tuesday, 25 September 2018

දසවැනි දිගහැරුම (#10)

බෝවන අක්ෂි රෝගය ( ඇස් ලෙඩ )
❆❆❆❆❆❆❆❆❆❆❆❆❆❆❆❆

සාමාන්‍යයෙන් උෂ්ණත්වය අධික කාලවලදී කෙටි කාළයක් තුළ වසංගතයක් ලෙසට බොහෝ පිරිසක් අතර බෝ වන අක්ෂි රෝගයක් පැතිරි යයි.ජනාකීර්ණ ප්‍රදේශ වල මෙය බහුලව පැතිරී යයි.

බෝවන අක්ෂි රෝග සෑදීම සදහා එක් ව්‍යාධිජනකයින් පිරිසක් සහභාගි වේ යයි නිශ්චිතවම කිවනොහැක.විවිධ කාළයන් හා විවිධ දේශගුණික තත්ව හා විවිධ පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය මත මෙම රෝගය ව්‍යාප්තවීම තීරණය වේ.

මෙම බෝවන අක්ෂි රෝග සෑදීම සදහා බැක්ටීරියා ,වෛරස,දිලීර ආදි ව්‍යාධිජනකයින් සහභාගී විය හැකිය .මින්,අක්ෂි ප්‍රදාහය (Conjunctivities) යනු ,එක්තරා බෝවන අක්ෂි රෝගයක් වේ.එය ඇතිවන්නේ වෛරස(Virus) මගිනි.

බෝවන අක්ෂි රෝගයක් යනු,ස්ඵර්ශයෙන් එක් අයෙකුගෙන් තවත් අයෙකුට පැතිරෙන විවිධ ව්‍යාධිජනකයින් මගින් සෑදෙන සාමාන්‍යයෙන් සති දෙකක පමණ (විචලනය විය හැකිය ) රෝගී කාලයකින් යුතු සුවිශේෂි වූ රෝගි ලක්ෂණ දරන රෝගී තත්වයක් වේ.


මෙම ලිපියේ මුල් කොටස නවවෙනි ලිපියේ (#09) ඇත.එය අවශ්‍ය නම්  මෙතනින් බලන්න 

මෙම බෝ වන අක්ෂි රෝග පුද්ගලයින් හට සෑදිමේ සුලහතාවය මත ආකාර දෙකකට (02) වෙන්කර දැක්විය හැකිය.

1. දීර්ඝකාලීනව පවතින ඇස් ලෙඩ

2. අක්ෂි ප්‍රදාහය (Conjunctivities )

මෙම දීර්ඝකාලීන ඇස් ලෙඩ සෑදෙන්නේ බැක්ටීරියාවක් මගිනි.සාමාන්‍යයෙන් සති දෙකක පමණ දීර්ඝ කාලයක් මෙම රෝගය පවතී.ස්ඵර්ශය මගින් මෙය ව්‍යාප්ත වීම සිදුවේ.එක් ඇසකට රෝගය සෑදුනු පසුව තවත් ඇසකට මෙම රෝගය ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් පවති.නමුත් ,නිවැරදි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කරන්නේ නම් ,මෙය ව්‍යාප්ත වීම අවම වේ.

දීර්ඝකාලීන ඇස් ලෙඩ මගින් ඇතිවන රෝගී ලක්ෂණ මෙසේ දැක්විය හැකිය.

1. ඇස් දැවිල්ල

2. ඇස් වටේ ඉදිමුම් ස්වරූපයක් ගැනිම

3. ඇස් වලින් අධික ලෙස කබ ගැලීම

4. උණ සහ උගුරේ වේදනාව

5. ඉර දෙස බැලීම අපහසු විම

6. ඇස් වලට වැලි වැටුනා සේ ඇස කෙවීමට ලක්වීම

7. ඇස් වලින් කදුළු ගැලීම 

බෝවන තවත් අක්ෂි රෝගයක් වූ අක්ෂි ප්‍රදාහය (Conjunctivities) සෑදෙන්නේ වෛරසයක් මගින් වේ.මුලින් කථා කල දීර්ඝකාලීන ඇස් ලෙඩ මෙන් සතිදෙකක කාලයක් ලෙඩ ඇතිනොකරයි.සාමාන්‍යයෙන් දින 03-04 ක කාලයක් මෙම රෝගී තත්වය පවතී.

මෙම අක්ෂි ප්‍රදාහයේ රෝගී ලක්ෂණ වන්නේ පෙර කියූ දීර්ඝකාලීන ඇස් ලෙඩේ ලක්ෂණම වන අතර වෛද්‍ය පරික්ෂණයකින් තොරව මෙම රෝග දෙක වෙන්කර හදුනාගත හැකි වෙනස්කම වන්නේ අක්ෂි ප්‍රදාහයේදි අධික ලෙසට කබ ගැලීමක් දීර්ඝකාලීන ඇස් ලෙඩේදී මෙන් සිදු නොවීමයි.

සාමාන්‍යයෙන් වෙනත් විවිධ හේතූන් මගින් ඇස රතු වීමක් සිදුවෙනවා.එවැනි අවස්ථා බෝවන අක්ෂි රෝගයක් නොවන නමුත් ,ඇස රතුවිය හැකි හේතූන් සලකමු .

1. ඇසට විවිධ ආගන්තුක ද්‍රව්‍ය ඇතුළු වීම.(වැලි,විවිධ සතුන්,කොළරොඩු)

2. විවිධ රසායනික ද්‍රව්‍ය ඇසට වැටීම.

3. ඇසට පහරක් එල්ල වීම මගින් අනතුරක් සිදුවීම.

4. ආහාර මගින් විවිධ ආසාත්මිකතාවයන් මතුවීම.

5. වෛද්‍ය නිර්දේෂයකින් තොරව සිවි කාච භාවිතා කිරීම.

6. වියපත් වීම සමග ඇසේ කදුළු ඝ්‍රාවය අවම විම නිසා ඇස වියලීමට ලක්වීම.

මෙවැනි අවස්ථා නිසා සාමාන්‍යයෙන් ඇස රතු විය හැකිය.නමුත් මෙවැනි ඇසේ රතුවීමක් පැය 24 කට වඩා පවති නම් එය බෝවන අක්ෂි රෝගයක් යැයි පෙර නිගමනයකට පැමිණිය හැකිය,එහිදී වෛද්‍ය උපදෙස් ලබාගැනීම උචිත වේ.

සියළුම බෝවන අක්ෂි රෝග ව්‍යාප්ත වන්නේ ස්ඵර්ශය මගින් නිසා නිවැරදි හා යහපත් සෞඛ්‍ය වත්පිළිවෙත් පුරුදු වීම මගින් වසංගතයක් ලෙසට මෙම රෝග බෝවීම පාලනය කරගත හැකිය.එලෙස පුරුදු විය යුතු සෞඛ්‍යමත් පුරුදු පහත පරිදි වේ .

1. බෝවන අක්ෂි රෝගයක් සෑදුනු සැණින් ඒ සදහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.කල්ගත වීම මගින් තම ශරීරයේ ප්‍රතිශක්තීකරණ හා ව්‍යාධිජනක ප්‍රබලතාවය මත රෝගයේ වෙනත් අතුරු ප්‍රතිඵල පැවතිය හැකි නිසා.

2. රෝගය සුවවන තෙක් පොදු ස්ථාන වල ගැවසිම,පොදු ප්‍රවාහන භාවිතය වැනි කටයුතු හැකිතාක් අවම කරන්න .රෝග සුව වීමට ගතවන්නේ සති දෙකක පමණ කාලයක් නිසා එය අපහසු නොවේ.

3. අයෙකුගෙන් තවත් අයෙකුට බොහෝ අවස්ථා වලදී බෝවන්නේ ස්ඵර්ශය මගින් නිසා සෑම විටම තමන්ගේ දෑත් පිරිසිදුව තබාගන්න.මෙවැනි වසංගත කාලවලදි ඔබ රෝගියෙකු නොවූවත් ඔබ විසින් තමන්ගේ දෑස් ඇල්ලීමට ප්‍රථම දෑත් සෝදාගන්න.

4. ඇස් වලින් කබ හෝ කදුළු ගැලීමකදී ඒවා පිසදැමීමට ලේන්සු හෝ ටිෂූ භාවිතා කරන්න,දෑත් මගින් ඒවා පිසදැමීමට නොයන්න.පසුව එවැනි ලේන්සු හෝ ටිෂූ විනාශ කර දමන්න .

5. සෑමවිටම දෑස අසල පිරිසිදුව තබාගන්න .මැස්සන්,කෝදුරුවන් වැනි සතුන්ට ඇස් මතට වැසීමට ඉඩ නොතබන්න ,ඔවුන් ඇස් ලෙඩ ව්‍යාප්ත කරන හොද වාහක විශේෂයකි.

6. පොදුවේ ඇදන්,කොට්ට උර,තුවායන්,ලේන්සු භාවිතා නොකරන්න,සිප වැලදගැනීමෙන් ද වළකින්න.

7. පිහිනුම් තටාක වල නෑම සුදුසු නොවේ.එමගින් රෝගය ව්‍යාප්ත වීම ඉක්මන් වේ.

මෙවැනි බෝවන අක්ෂි රෝග පිළිබඳව සමාජයේ විවිධ වැරදි මතවාද නිර්මාණය වී ඇත.ඒ පිළිබඳව මදක් සාකච්ඡා කර බලමු.

• අක්ෂි රෝග සෑදුනු පසුව ආහාර තෝරාගැනීමේදි ප්‍රවේශම් විය යුතු බව.

එය සාවද්‍ය කරුණකි.වෙනදා ගත් පුරුදු ආකාරයට සමබල ආහාර වේලක් ගැනීම ප්‍රමාණවත් වේ .ආහාර තේරීමක් කළයුතු නැත.

• මෙවැනි බෝවන අක්ෂි රෝගයක් සෑදුනු පසුව නෑම අහිතකර බව.

අසත්‍යය කරුණකි.මක්නිසාදයත් ,ඇස් වල පිරිසිදු බව මෙහිදී අත්‍යාවශ්‍ය කරුණකි.වෙනත් රෝග තමන්ට නොපවතීනම් ,මෙම රෝගයේදී දිනපතා වුවත් නෑම සුදුසු වේ.

• නිසි වෛද්‍ය උපදෙස් වලින් තොරව සාමාන්‍ය අත් බෙහෙත් රෝගය සදහා භාවිතා කිරීම.

එය නුසුදුසු ක්‍රියාවක් වේ.නිවසේදී මද රස්නයක් ඇති උණු වතුරෙන් හෝ ඇල් වතුරෙන් රෝගී ඇස සේදීම සුදුසු වන අතර වැඩිදුර ප්‍රතිකාර සදහා වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් විය යුතුය .(බටහිර වෛද්‍ය ක්‍රමය තුළ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළද මෙම රෝග වලට සුදුසු ,ප්‍රත්‍යක්ෂ ඖෂධ රාශියක් පවතී.)

අක්ෂි ප්‍රදාහය (Conjunctivities) වැනි වෛරස (Virus) මගින් සෑදෙන ඇස්ලෙඩ සාමාන්‍යයෙන් අතුරු ආබාධ ඇති නොකරත් දීර්ඝකාලීන අක්ෂි රෝගය බැක්ටීරියාවක් මගින් ඇති කරන නිසා එම රෝගය මගින් රෝගයට නිසි වෛද්‍ය ප්‍රතිකාර සිදුනොකලහොත් අතුරු ආබාධ ඇති කල හැකිය.


ඊලඟ ලිපියෙන් නැවත හමුවෙමු

D.H.S.L

❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃

Facebook ඔස්සේ නවතම ලිපි පරිශීලනය කිරීම සදහා " දිනපොත - Dairy " පිටුව සමග මෙතනින් එකතු වෙන්න.


Saturday, 22 September 2018

නවවැනි දිගහැරුම (#9)

ග්ලූකෝමා රෝගය සහ අක්ෂි ප්‍රදාහය (Conjunctivities)

ග්ලූකෝමා රෝගය පිළිබඳව දෙවෙනි ලිපිය මෙයයි.එහි පළමු ලිපිය අටවෙනි දිගහැරුම (#8) තුළ අන්තර්ගත වේ.

එය අවශ්‍ය නම් මෙතනින් බලන්න .

එහිදී සාකච්ඡා කළ ආකාරයට ග්ලූකෝමා රෝගයේ Open angle තත්වය බොහෝ විට වයස අවුරුදු 40 - 50 ඉක්මවූ අයට සෑදුනත් සමහර අවස්ථා වලදී මෙම රෝගය කුඩා දරුවන්ට වැලදිය හැකිය .නමුත් ,කුඩා දරුවන්ගේ අක්ෂි පටල මෘදු නිසා ඒවා මෙම තරලය මගින් ලබාදෙන පීඩනය හමුවේ තරමක් ඇදීමකට ලක්වීම නිසා නියුරෝන සෛල තෙරපී විනාශ වීමකට ලක්නොවේ.


ඉහත රූපසටහනේ දැක්වෙන්නේ කුඩා දරුවෙකුට ග්ලූකෝමා රෝගය සෑදුනු අවස්ථාවකි.

කුඩා දරුවන්ගේ සෑදෙන ග්ලූකෝමා රෝගයේ Open angle තත්වය හදුනාගැනීම වැඩිහිටි අයට වඩා පහසු වේ.ඔවුන්ගේ කළු ඉංගිරියාව (කණිනිකාව ,තාරාමණ්ඩලය ) සුදු පැහැගැන්වී ඇත.එය ඔබ වැඩිහිටියෙකු ලෙස හදුනාගත් වහාම ඔබේ දරුවා වෛද්‍යවරෙක් වෙතට ගෙනයන්න.ඖෂධ ප්‍රතිකාර ක්‍රම මගින් මෙම තත්වය එහිදී පාලනය කරනු ඇත.

ග්ලූකෝමා රෝගයේ දෙවන තත්වය වන Closed angle අවස්ථාව පිලිබදව සලකා බලමු .

එම තත්වය ක්ෂණිකව ඇතිවන රෝගියාට රෝග ලක්ෂණ හදුනාගත හැකි ග්ලූකෝමා රෝගයේ එක්තරා ආකාර තත්වයකි.මුලින් සාකච්ඡා කල Open angle තත්වය මෙන් නොව සාපේක්ෂව සුළු පිරිසක් මෙහි රෝගීන් වේ.

Closed angle ග්ලූකෝමා රෝගයේ රෝගී ලක්ෂණ ÷

1. ඇසේ වේදනාව.(අධිකවම)

2. ඇස ක්ෂණිකවම රතු පැහැ වීම.

3. ඇසේ බබා (කණිනිකාව) ගෝලාකාර ලෙසට විශාල වීම.

4. සමහර පුද්ගලයින්ගේ ඇසේ බබා (කණිනිකාව) ගෝලාකාර නොව ඕවලාකාර හැඩයක් ගැනීම.

5. ඕක්කාරය හා ක්ලාන්තය ඇතිවීම.

ග්ලූකෝමා රෝගයේ Open angle හා Closed angle රෝගී තත්ව ඇති කිරීමට හේතු සාධක සලකාබලමු.

1. උපතේදී ඇතිවන ග්ලූකෝමා තත්වයන්

2. දීර්ඝ කාලීන අධික රුධිර පීඩනය

3. දීර්ඝ කාලීන හා ඉහල අගයකින් යුතු දියවැඩියා තත්වයන්

4. පාරම්පරික ප්‍රවේණික තත්වයන්

5. වියපත් වීම (වයස අවුරුදු 40 ට වැඩි නම් )

6. ඇසට සිදුවන හදිසි අනතුරු තත්වයන්

7. දෘෂ්ටික පේශීන් වයසට යෑම සමග දුර්වල විම

8. අධික ස්ථූලබව හා ඉරුවාරදය වැනි රෝගී තත්වයන්

9. ස්ටෙරොයිඩ අඩංගු ඖෂධ වර්ග දීර්ඝකාලීන භාවිතය

මෙම රෝගයේ අවධානම් තත්වය සලකන්නේ නම් ,රෝගය මූලික අවස්ථාවේදි හදුනානොගෙන අවසාන අවස්ථාව දක්වා කල්ගතවුවොත් අන්ධ විම් වලට ගොදුරු විය හැකිය.

ලෝකයේ දැනට ග්ලූකෝමා රෝගයෙන් පෙළෙන රෝගින් ප්‍රමාණය මිලියන 4.5 ඉක්මවා ගොස් ඇත.ශ්‍රි ලංකාවේ ග්ලූකෝමා රෝගය හදුනාගන්නා රෝගින්ගෙන් 12% ක් පමණ අන්ධවීම් වලට ලක්වේ.එයට හේතුව වන්නේ අවසාන අවස්ථාවේදී රෝගීන් මෙම රෝගී තත්වය හදුනාගැනිමයි.අවාසනාවට කරුණ නම් ,බොහෝ රටවල ග්ලූකෝමා රෝගීන්ගෙන් 50% ක් තමන්ට ග්ලූකෝමා රෝගය යයි නොදැන ජීවත්වීමයි.

ග්ලූකෝමා රෝගය නිට්‍ටාවටම සුව කළ නොහැකිය.එහි රෝග පාලනයක් පමණක් කළහැකිය.මෙහිදී ප්‍රතිකාර වශයෙන් දියරමය ඖෂධ යෙදීම හෝ ශල්‍යකර්මයන් සිදුකරයි.බොහෝවිට සිදුවන්නේ මෙම දියරමය ඖෂධ ඇසට යෙදීමයි.


මෙලෙස දියරමය ඖෂධ ඇසට යෙදීම කිසියම් කාලසටහනකට අනුව සිදුකළ යුතුය .මෙය කාලසටහනේ ඇති වේලාවට පෙර හෝ පසුව ඖෂධ යෙදීම මගින් රෝගය කෙරෙහි සුවතාවයක් ඇතිනොවේ.

මෙම දියරමය ඖෂධ ලබාදෙන්නේ ඇසේ පීඩනය පාලනය කිරීම සදහා ය.එක් වරකදී එක් බිදුවක් බැගින් එක් ඇසකට යෙදිය යුතුය .වැඩිපුර යෙදීම මගින් ඖෂධ අපතේ යැවීමක් පමණක් සිදුකරයි.

ඇසේ පීඩනය ඉහළ යන්නේ පෙරවරු 8-9 හා පස්වරු 8-9 යන කාලසීමා වලදීය.එමනිසා ඇසට ඖෂධය යෙදිය යුත්තේද,අනිවාර්යයෙන්ම මෙම කාලසීමාවේදීය.

මෙම කාලසීමා වලට ප්‍රථමයෙන් ඖෂධය ඇසට යෙදීම මගින් හා මෙම කාලසීමා පසුවූ විට ඇසට ඖෂධය යෙදීම මගින් රෝගය පාලනය වීමක් සිදුනොවේ.එහිදී වන්නේ ඖෂධ භාවිතා කරන විටදීත් රෝගය උත්සන්න වීමයි.

ග්ලූකෝමා රෝගීන් විසින් සාමාන්‍යයෙන් එක් වරකදී ජලය වැඩි ප්‍රමාණයක් පානය නොකල යුතුය .දුම්බීම හා මධ්‍යසාර පානයෙන් ඉවත්විය යුතුය ,කිසියම් වෙනත් රෝගයක් සදහා ප්‍රතිකාර ලබාගැනීමකදී එම වෛද්‍යවරයාට තම රෝගය පිළිබඳව දැනුවත් කළ යුතුය .(ස්ටෙරොයිඩ ඖෂධ වෛද්‍යවරයා විසින් නිර්දේශ කිරිම වලක්වාගැනීමට)

දැනට ඔබට මෙම ග්ලූකෝමා රෝගී තත්වය නොමැති වුවත් ඔබ වයස අවුරුදු 40 ඉක්මවූ හෝ ඔබ පවුලේ ආසන්න කෙනෙකු හට මෙම ග්ලූකෝමා රෝගය පවතීනම් ,අවම වශයෙන් වසරකට එක් වතාවක් හෝ අක්ෂි වෛද්‍යවරෙක් වෙතට යොමු වී ඇස් පරීක්ෂා කරගන්න.මේ සදහා සියළුම රජයේ රෝහල් වල නොමිලේ පරීක්ෂණ හා වෛද්‍ය පහසුකම් ඔබ වෙනුවෙන් සපයා ඇත.අදම ලගම පිහිටි රජයේ රෝහල වෙතට යොමුවන්න.


විවිධ කාලවලදී ක්ෂණිකව මතුවන අක්ෂි රෝගයක් වන්නේ අක්ෂි ප්‍රදාහයයි (Conjunctivities) .මෙය සාමාන්‍ය ව්‍යවහාරයේදී "ඇස් ලෙඩ" ලෙසට හදුන්වයි.

මෙම ලිපිය කියවන බොහෝ දෙනෙකු අනිවාර්යයෙන්ම මෙම රෝගය සෑදී ඇති අයවළුන් විය යුතුය .

අක්ෂි රෝග ආකාර දෙකකට බෙදිය හැක.

• බෝ නොවන අක්ෂි රෝග

• බෝ වන අක්ෂි රෝග

පසුගිය ලිපි මගින් අපි සාකච්ඡා කරනු ලැබූ සියළුම අක්ෂි රෝග බෝනොවන අක්ෂි රෝග වේ.
(ඇසේ සුද,වපරය,ග්ලූකෝමාව,හතලිස් ඇදිරිය..............මෙම සියළුම රෝග පිළිබඳව මුල් ලිපි මගින් කරුණු දක්වා ඇත.)

බෝවන අක්ෂි රෝග කෙනෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය ව්‍යාප්ත වේ.මෙසේ ව්‍යාප්තිය සදහා බොහෝ විට හේතු වන්නේ ස්පර්ශයයි.සාමාන්‍යයෙන් මෙවැනි බෝවන අක්ෂි රෝගයක් සති දෙකක පමණ කාලයක් පවතී.මේවා මගින් ඇසේ ක්‍රියාකාරීත්වයට බාධාවක් ඇතිනොකරයි.නමුත් ,පෙර කියූ බෝ නොවන අක්ෂි රෝග මගින් ඇසේ පෙනීම ආදී ක්‍රියාකාරීත්වයට බාධාවන් ඇතිකරයි.වෛරස,බැක්ටීරියා,දිලීර ආදියෙන් මෙම බෝ නොවන අක්ෂි රෝග ඇතිවේ.

ඇස් රතු වීම,ඇස් වලින් කබ ගැලීම,ඇස් දැවිල්ල,ඇස් වලින් කදුළු ගැලීම,ඇස් පිහාටු ඉදිමීම,ඇස කෙවීම,ඇස තුල වැලි ඇට පවතිනවා සේ දැනීම සහ උගුරේ අමාරුව සමග තරමක උණ ගතියක් ඇති වීම මෙම බෝ වන අක්ෂි රෝග වල රෝග ලක්ෂණ වේ.සාමාන්‍යයෙන් මෙවන් ලක්ෂණ පැය 24 කට වඩා පවතීනම් මෙය අනිවාර්යයෙන්ම අක්ෂි රෝගයක් යැයි නිර්දේශ කල හැකිය.


සාමාන්‍යයෙන් බහුල වශයෙන් පවතින බෝ නොවන අක්ෂි රෝගය වන්නේ "අක්ෂි ප්‍රදාහය" (Conjunctivities) හෙවත් "ඇස් ලෙඩ" යි.


ඊලඟ ලිපියෙන් නැවත හමුවෙමු...........

D.H.S.L ( "Dinapotha" )

❆❆❆❆❆❆❆❆❆❆❆❆❆

Facebook ඔස්සේ නවතම ලිපි පරිශීලනය කිරීම සදහා " දිනපොත - Dairy " පිටුව සමග මෙතනින් එකතු වන්න.

මෙම ලිපිය හා සමස්ථ ලිපි පෙළ මගින් ඔබගේ දැනුමට හා සෞඛ්‍ය සදහා ලැබුනු දායකත්වය පහත අංක අනුව ප්‍රතිචාරයක් ( Comment ) ලෙසට දක්වන්න.


100%   නම්   ⇨(1) 😀                75%  නම්  ⇨  (2)  😁50%    නම්  ⇨ (3)  😐                 25% නම්    ⇨(4) 😳

Thursday, 20 September 2018

අටවැනි දිගහැරුම (#8)

වපරය සහ ග්ලූකෝමා රෝගය  ❆❆❆❆❆❆❆ 

අක්ෂි ආබාධයක් වූ වපරය ඇතිවීමට බලපාන හේතු වල මුල් කරුණු හත්වෙනි ලිපියේ (#7) ඇති අතර එහි ඉතිරි වූ කරුණු මුලින්ම සාකච්ඡා කරමු.

අවශ්‍ය නම් හත්වෙනි ලිපිය(#7) මෙතනින් බලන්න .
• මොළයේ අක්ෂි චාලක ස්නායු මගින් ඇසේ චලනය පාලනය කරන ප්‍රදේශයේ කිසියම් රෝගී තත්වයක් නිසා අකර්මණ්‍ය වීම.

සමහර අවස්ථා වලදී මොළයේ පිළිකා තත්වයන් මෙයට හේතු විය හැක .

• ඇසෙහි චලනයන් පවත්වා ගැනීම සදහා මොළය මගින් ඇස වෙතට ස්නායු ආවේග ගෙනයනු ලබන අක්ෂි චාලක ස්නායු අකර්මණ්‍ය වීම.

මේ සදහා එක් අක්ෂි චාලක ස්නායුවක් හෝ අකර්මණ්‍ය වීම ප්‍රමාණවත් වේ .එහිදී ඇස පුද්ගලයාට අවශ්‍ය පරිදි චලනයන් සිදුනොවේ.

• කුඩා දරුවන්ගේ ඉපදීම සමගම ඇසේ සුද ඇතිවීම.

කුඩා දරුවන්ගේ ඇසේ සුද ඇතිවීම සමග ඇස මගින් පෙනීම ලැබීමේ ක්‍රියාවලිය අඩාල වීම නිසා ඇස අලස වේ .දරුවා ඉපිද ආසන්නතම දිනක මෙම ඇසේ සුද ඉවත් කිරීමක් කළහොත් මෙම වපර තත්වයන් ඇතිවීමෙන් දරුවා මුදාගත හැකිය.

• ඇසට සිදුවන හදිසි අනතුරු

ඇසට සිදුවන අනතුරු නිසා අක්ෂි චාලක ස්නායු වලට හෝ දෘෂ්ටික ස්නායුවට හානිවීමේදී මෙවැනි තත්වයන් ඇතිවේ .

• අධික තෙහෙට්ටුව හා අධික නිදිමත නිසා ඇසට වෙහෙසට පත්වීම.

අධික වෙහෙස නිසා අක්ෂි පේශි විඩාවට පත්වේ .එමනිසා ,ඇස නිසියාකාරයෙන් චලනය සිදුනොවීම නිසා වපරමය තත්වයන් ඇතිවේ.

• ඇස කුඩා කර ඇසට වෙහෙසක් වන ආකාරයට හා ඕනෑකමක් නොමැතිව යමක් දෙස බැලීම සහ ඇස ඇදකර බැලීම.

ව්ශේෂයෙන් වියපත් පුද්ගලයින්ට ලග නොපෙනීම,දුර නොපෙනිම,ඇසේ සුද මතුවීම වැනි තත්වයන් වලදී උපැස් යුවල භාවිතා නොකිරිම සහ අවශ්‍ය ශල්‍යකර්මයන් සිදු නොකිරීම නිසා ඇස කුඩා කර අධික වේලාවක් බලාසිටීමේදී අක්ෂි පේශි ස්වාභාවික ස්වරූපයෙන් වෙනස් වීම් වලට භාජනය වීම නිසා ඇස තමන්ට අවශ්‍ය ලෙසට චලනය කිරීමට නොහැකි වේ.

• දියවැඩියාව බොහෝ කාලයක් අධික ලෙසට පැවතිම නිසා ඇසේ සියුම් රුධිර නාල තුල පීඩනය වැඩිවී ඒවා පුපුරා යෑම නිසා .

බොහෝ අවස්ථා වලදී ඇසේ වපර තත්වයන් සදහා ප්‍රතිකාර ක්‍රම පවතී.එවැනි ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සලකා බලමු .

• ඉපදීමත් සමග කුඩා දරුවන්ගේ ඇතිවන ඇසේ සුද තත්වයන් සදහා ඉක්මනින්ම ශල්‍යකර්මයන් මගින් ප්‍රතිකාර කිරීම නිසා දරුවා වැඩිහිටි වන විට ඇතිවන ඇසේ වපර තත්වයන්ගෙන් මුදාගැනීමට හැකිවීම.

• උපැස් යුවල පැලදවීම.

අවිදුර ,විදුර , හතලිස් ඇදිරිය හා සමහර ඇසේ සුද ඇතිවිම් නිසා ඇති වන වපර තත්වයන් සදහා මෙය සුදුසු වේ.

• දියවැඩියාව ,අධිරුධිරපීඩනය වැනි රෝග නිසි ඖෂධ ලබාගැනීම හා වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් රෝග පාලනයක් ඇතිකරගැනීම.

• එක් ඇසක් අලස වීම නිසා ඇතිවන වපර තත්වයන් සදහා සම්පූර්ණ ක්‍රියාකාරී ඇස කිසියම් කාළ සටහනකට අනුව වසාතැබීම.

• අධික ලෙසට දීර්ඝ කාලයක් නිදි මැරීමෙන් වැලකීම.

• අවසාන වශයෙන් අක්ෂි පේශි වල ගැටළුවක් නම් ශල්‍යකර්මයකට භාජනය කිරීම.

මෙහිදී ඇසේ වපරය නැතිකොට එම ඇසේ නිවැරදි ඉලක්කය ගැනීම සදහා ශල්‍යකර්ම කීපයක් වුවත් කිරීමට සිදුවේ.

✥✥✥✥✥✥✥✥✥✥✥✥

ග්ලූකෝමාව යනු තවත් එක්තරා අක්ෂි ගැටළුවක් වේ."ඇස් අන්ධ කරන නිහඬ මාරයා" ලෙසට මෙම ග්ලූකෝමා රෝගය හදුන්වයි.එතරම් බිහිසුනුභාවයක් මෙම රෝගය සතුව පවතී .





බටහිර වෛද්‍ය විද්‍යාවේදී "ග්ලූකෝමාව" ලෙසට හදුන්වන මෙම රෝගය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී "නීලකාච" රෝගය ලෙසට හදුන්වයි.

ග්ලූකෝමාව යනු,නිට්ටාවටම සුව කල නොහැකි රෝගයක් වේ.එම රෝගය කිසියම් පාලනය කිරීමක් පමණක් කලහැකිය.ඒ සදහා වෛද්‍ය නිර්දේශය මත ලබාදෙන්නාවූ ඇසට දමන ඖෂධ නියමිත මාත්‍රවෙන් ,නියමිත වේලාවට ඇසට දැමිය යුතුය .රෝගයේ මූලික අවස්ථාවේදීම එය හදුනාගැනීම මත අන්ධභාවයට පත්වීම වලක්වාගත හැකි අතර එහිදී ද නිට්ටාවට සුවකිරීමක් සිදුකල නොහැකිය.

ග්ලූකෝමා රෝගයට හේතුවන්නේ,ඇසේ පවතින දෘෂ්ටික ස්නායුවට හානිවීමයි.ඇසේ පවතින අධික පීඩනය නිසා මෙලෙස දෘෂ්ටික ස්නායුව හානිවීම සිදුවේ.මෙහිදී ඇසේ පීඩනය යනු,රුධිර පීඩනය නොවේ.

ඇසේ පවතින දෙවන ස්ථරය හෙවත් රුධිර ග්‍රාහය මගින් අනෙකුත් ස්ථර වලට හා සමස්ත ඇසට අවශ්‍ය ශ්වසන වායු,පෝෂක ආදිය ලබාදීම සිදුවේ.මෙවැනි ද්‍රව්‍ය ලබාදීම සිදුවන්නේ,රුධිර ග්‍රාහය මගින් ඝ්‍රාවය කරන තරලයක් මගිනි.කිසියම් හෝ හේතූන් මත මෙම තරලය රුධිර ග්‍රාහය මගින් වැඩියෙන් ඝ්‍රාවය වීම හෝ ඝ්‍රාවය වන තරලය රුධිර ග්‍රාහයෙන් ඉවත් වීම ප්‍රමාද වේ.මෙම ප්‍රමාදය නිසා සමහර අවස්ථා වලිදී මෙම තරලය ඇසේ කාච රසය තුළටද කාන්දුවීමක් සිදුවේ .එහිදී කාච රසයේ දුස්ස්‍රාවීතාවය වෙනස් වීමක්ද සිදුවේ.

පහත රූප සටහනේ පලමු කොටස මගින් නීරෝගී ඇසක් නිරූපණය වන අතර ,දෙවන කොටස මගින් දක්වනු ලබන්නේ ඇසේ රුධිර ග්‍රාහය මගින් ඇති කරනු ලබන පීඩනය ඇසේ දෘෂ්ටිවිතානය මත ඇතිකරනු ලබන ආකාරයයි.


මේ හේතූන් නිසා රුධිර ග්‍රාහය තුළ පීඩනය ඉහල යයි.මේ පීඩනය නිසා තවත් ඇතුළු දෙසට රුධිර ග්‍රාහය තෙරපීමට ලක්වේ.එමනිසා ,ඇසේ තුන්වන ස්ථරය වූ දෘෂ්ටික ස්නායුක ස්ථරයද තෙරපීමකට ලක්වේ.එහිදී ,එම ස්ථරයේ පවතින දෘෂ්ටික සංවේදක සෛලයන් වන කේතු සෛල සහ යෂ්ටි සෛල ද තෙරපීමකට ලක්වීම නිසා ඒවා ක්‍රමක්‍රමයෙන් විනාශ වී යයි.ඊට අමතරව එම ස්ථරයේ පවතින ද්වීධ්‍රැව නියුරෝන සෛලයන්ද මෙසේ තෙරපීම නිසා ක්‍රමක්‍රමයෙන් විනාශ වී යයි.

මෙසේ වීම නිසා දෘෂ්ටිවිතානය මත ප්‍රතිබිම්බය ඇති වුවත් ,එය දෘෂ්ටික ස්නායුව ඔස්සේ මොළයේ අදාල ප්‍රදේශය මතට ගෙනයාම අවහිර වේ.එමෙන්ම කාච රසයේ දුස්ස්‍රාවීතාවය වෙනස් වීම නිසා වස්තුවෙන් පැමිණෙන ආලෝකයේ නිසි වර්තනයක් ඇතිනොවේ.

ග්ලූකෝමා රෝගයේදී දිනකට මෙම ස්නායු 40000 ක් පමණ විනාශවීමක් සිදුවේ .එමනිසා,රෝගයේ මූලික රෝග ලක්ෂණ ඇතිවූ වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම උචිත අතර රෝගය නොසලකා හැරීම තුළින් ක්‍රමක්‍රමයෙන් ඇසේ පෙනීම නොපෙනී ගොස් අවසානයේදී අන්ධභාවයට පත්වේ.අන්ධභාවයට පත්වූ පසුව නැවතත් මියගිය දෘෂ්ටික නියුරෝන සෛල මූලික තත්වයට ගත නොහැක .

මෙම ග්ලූකෝමා රෝගය අවස්ථා දෙකක් ලෙසට පවතී .

1. Open angle

2. Closed angle

මෙම අවස්ථා දෙකට අදාලව රෝගී ලක්ෂණ වෙනස් වේ.බොහෝ දුරට රෝගීන් වාර්ථා වන්නේ Open angle රෝගී තත්වයෙන්‍ ය.

Open angle වර්ගයේ ග්ලූකෝමා රෝගයේ රෝගී ලක්ෂණ සලකමු .

සාමාන්‍යයෙන් මෙම Open angle හෝ Closed angle යන ග්ලූකෝමා රෝගී තත්වයන් සාමාන්‍යයෙන් මතුවෙන්නේ වයස අවුරුදු 40 ඉක්මවූ පසුව වේ.එමනිසා අවමය ලෙසට අවුරුද්දකට වතාවක් හෝ අක්ෂි පරීක්ෂාවක් කරගැනීම සුදුසු වේ.Open angle අවස්ථාවේදී මූලික රෝගී ලක්ෂණ රෝගියාට අවම ලෙසට දැනීමක් සිදුවීම එහි ඇති භයානකම  තත්වයයි.


ඉහත රූප සටහනේ පලමු කොටස මගින් නීරෝගී ඇසක් මගින් කිසියම් දර්ශණයක් පෙනෙන ආකාරය පෙන්නුම් කරන අතර ,දෙවන කොටස මගින් ග්ලූකෝමා රෝගය සෑදුණු හා තවමත් අන්ධ නොවූ ඇසකට කිසියම් දර්ශණයක් පෙනෙන ආකාරය පෙන්නුම් කරයි.එම අවස්ථා දෙකේ වෙනස්කම් හොදින් හදුනාගන්න.ඔබටත් දැනටම ග්ලූකෝමා රෝගය සෑදී ඇත්දැයි මේ ආකාරයට නිගමනය කළ හැකිය .


එහිදී රෝගය ආරම්භයේ සිටම රෝගියා දකින වස්තූන්ගේ දර්ශණ වල දෙපසින් අදුරු වීමක් හෝ නොපෙනීමක් හෝ පවතී.මුල් අවස්ථාවේදී මෙය සුළුවෙන් ආරම්භ වී ක්‍රමක්‍රමයෙන් මෙසේ ඇස දෙපසින් නොපෙනීම හෝ අදුරු වීම වැඩි වීමක් සිදුවේ .එමනිසා රෝගය උත්සන්න වී අන්ධ වීමට ආසන්න වන තෙක්ම රෝගියා බොහෝදුරට මේ පිළිබඳව උනන්දු නොවේ.

මේ නොදැනුවත්කම නිසා ශ්‍රී ලංකාවේ ග්ලූකෝමා රෝගීන්ගෙන් 12% ක් අන්ධභාවයට පත්වේ .එයට හේතුව වන්නේ ,ඔවුන් තමන් ග්ලූකෝමා රෝගීන් යයි හදුනා ගන්නේ අවසාන මොහොතේදී නිසාය.

Closed angle ග්ලූකෝමා තත්වය සාමාන්‍යයෙන් අවම පුද්ගලයින් ප්‍රමාණයකට සෑදේ.Open angle ග්ලූකෝමා තත්වයට සාපේක්ෂව මෙහිදී රෝගියාට රෝග ලක්ෂණ හදුනාගත හැකි ආකාරයට පෙන්නුම් කරයි.එමනිසා,අන්ධභාවයට පත්වීමට පෙර පහසුවෙන් හදුනාගත හැකිය .

මෙම Closed angle තත්වය ක්ෂණිකව සෑදෙන රෝගී තත්වයක් වේ.එය Open angle රෝගී තත්වය මෙන් දීර්ඝ කාලීන ග්ලූකෝමා තත්වයක් නොවේ.Close angle ග්ලූකෝමා තත්වයේදී ආරම්භයේ සිටම රෝගී ලක්ෂණ හොදින් රෝගියාට දැනීම සිදුවේ.


ඊලඟ ලිපියෙන් නැවත හමුවෙමු................


D.H.S.L

ලිපියේ පහළින් ඇති මෙම ලිපියේ ගුණාත්මකභාවය ප්‍රතිශතයක් (%) වශයෙන් සටහන් කළ හැකි තීරුවේ ඔබේ මනාපය පළකිරීමට කාරුණික වන්න.

Facebook ඔස්සේ " දිනපොත - Dairy " පිටුව සමග ඔබට මෙතනින් එකතුවිය හැකිය.

❋❋❋❋❋❋❋❋❋❋❋❋❋❋

Monday, 17 September 2018

හත්වෙනි දිගහැරුම (#7)


ඇසේ සුද ඇතිවීම සදහා හේතු වල ඉතිරිය පහත පරිදි සාකච්ඡා කරමු.

මෙම හේතු වල මුල් කොටස හයවෙනි ලිපියේ (#6) පවතින අතර , මෙතනින් එම ලිපිය බලන්න .

• ඇස ක්‍රියාශීලී බවින් තොරව දිගු කාලයක් අලසව පවත්වා ගැනීම .

ඇස මෙන්ම ඕනෑම ඉන්ද්‍රියක් මනා සෞඛ්‍යමත් ආකාරයට පවත්වා ගැනීම සදහා ක්‍රියාශීලී බව අත්‍යාවශ්‍ය වේ.ක්‍රියාකාරීත්වය වැඩිවන විට පරිවෘත්තිය ප්‍රතික්‍රියා සිදුවීමේ ශීඝ්‍රතාවය වැඩිවේ.

උදාහරණයක් ලෙසට ඇස වෙහෙසවා වැඩ කරන ගුරුවරුන්,කර්තෘවරුන්,මහාචාර්යවරුන් වැනි රැකියාවල නියුතු පුද්ගලයින්ට මෙවැනි ඇසේ සුද ඇතිවීමේ සම්භාවිතාවය සාමාන්‍ය පුද්ගලයින් ට සාපේක්ෂව අඩු අගයක් ගනී.

එමෙන්ම සමහර පුද්ගලයින්ට වියපත් වී ඇසේ සුද නොපැමිණියත් තමා සේවයන් විශ්‍රාම ගත් විගස මෙම තත්වය මතුවේ.

• තමන් වැඩිපුර ගැවසෙන නිවස ,සේවා ස්ථානය නිසි ආලෝකකරණයක් නොමැති වීම නිසා ද මෙවැනි තත්ව ඇතිවේ.

ඇසේ සුද ඇති වීම ක්ෂණිකව ඇතිවන දෙයක් නොවේ.කුඩා අවස්ථාවෙන් හටගෙන එය බොහෝ කාලයක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් උච්චතම අවස්ථාව දක්වා වර්ධනය වේ.මෙහි අවසානය වන්නේ ග්ලූකෝමා තත්වයක් බවට පරිවර්තනය වී ඇස් අන්ධ වීමයි.

ඇසේ සුද ඇතිවීම මුල් අවධියේම හෝ තරමක මැද අවධියේදි හදුනාගැනීම මගින් එය ග්ලූකෝමා තත්වයකට භාජනය නොවී එය නිට්ටාවටම සුව කල හැකිය.නමුත් ,ඇසේ සුද කල්ගත වී ග්ලූකෝමා තත්වයකට පරිවර්තනය වුවහොත් එය නිට්ටාවටම සුවකල නොහැකි අතර පාලනය කිරීමක් පමණක් කල හැකිය .

එමනිසා ,ඇසේ සුද ඇතිවීම රෝගයේ මූලික රෝග ලක්ෂණ හදුනාගනිමු.

1. ඇස් වලින් යම් දෙයක් නිරීක්ෂණය කරන විට බොදවී නිරීක්ෂණය වීම.මෙය ආරම්භයේ සුළු වශයෙන් පවතිමින් ක්‍රමයෙන් වැඩිවේ.

2. රාත්‍රී කාලයේදී පෙනීම මුලදී සුළු වශයෙන් අඩුවී ,එය ක්‍රමිකව වැඩිවේ.

3. වර්ණ වියැකී පෙනීම.

4. කෘතීම ආලෝක කදම්බ(විදුලි බල්බ ,පහන් දැල්ල ) සාමාන්‍යයෙන් පෙනෙනවාට වඩා වැඩි දීප්තියකින් යුතුව නිරීක්ෂණය වීම.

5. උපැස් යුවල භාවිතා කරන්නෙක් නම් ,එහි උපැස් කාච නිතිපතා මාරුකරන්නට සිදුවීම.

ක්‍රමිකව අක්ෂි කාචයේ සුද ඇතිවන නිසා දෘෂ්ටිවිතානය මත වස්තුවේ ප්‍රතිබිම්බය නිශ්චිත ස්ථානයක නොසෑදීම නිසා මෙවැනි උපැස් කාච මාරුකරන්නට සිදුවේ.

ඇසේ සුද හදුනාගත් වහාම ඉවත් කල යුතුය .ඒ සදහා දැනට බොහෝ දුරට භාවිතා කරන්නේ සැත්කමක් සිදුකර අක්ෂි කාචය ඉවත් කර ප්ලාස්ටික් කෘතිම කාචයක් යෙදිමයි.

පහත ඇත්තේ එවැනි අක්ෂි කාචයක් යෙදීම සදහා සැත්කමක් සිදුකරන ආකාරයයි.



මීට අමතරව සැත්කමක් සිදු නොකර ලේසර් කිරණ මගින් ප්‍රතිකාර සිදුකර එන්නත් කටුවක් ආධාරයෙන් ඇස තුළ නව අක්ෂි කාචයක් පිහිටුවීමේ නව තාක්ෂණයක් ද පවතී.තවත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට අල්ට්‍රාසවුන්ඩ් මගින් සිදුකරන ඇසේ සුද ඉවත් කිරීමේ ක්‍රමයක් ද පවතී.

දැනට ශ්‍රි ලංකාවේ බොහෝ දුරට සිදුකරන්නේ සැත්කමක් මගින් ඇසේ සුද ඉවත් කිරීමේ ක්‍රමය වේ.

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම සිදුකිරීම පෙර රෝගීයා විසින් පිළිපැදිය යුතු ක්‍රියාකාරකම් සමූහයක් පවතී.

• වෛද්‍ය නිර්දේෂය අනුව සුදුසු අක්ෂි කාචයක් ලබාගැනීම සදහා පෞද්ගලික ආයතනයකින් ඇනවුම් කිරීම.

• වෛද්‍ය නිර්දේශය අනුව ශල්‍යකර්මයයට පෙර සතියකට පෙර හෝ දින තුනකට පෙර FBS , BP, ECG යන පරීක්ෂණ සිදුකර වෛද්‍යවරයාට ලබාදීම.

• ශල්‍යකර්මයට දින තුනකට කලින් වෛද්‍යවරයා ලබාදෙන eye drops ලබාගන්න.

• වෛද්‍යවරයා සමග සාකච්ඡා කරගත් දිනවල අනුව හා එම වේලාවට වඩා වේලාසන රෝහල වෙතට ගොස් පරිසරය හුරුපුරුදු කරගන්න.

වර්තමානයේදී බොහෝ දුරට සිදුවන මෙම සැත්කමක් මගින් ඇසේ සුද ඉවත් කිරීමේදී මුලින්ම රෝගියා නිර්වින්දනය කර පසුව කෘතීම කාචය මැහුම් යොදමින් ඇසට සම්බන්ධ කරයි.

පහතින් දක්වා ඇත්තේ එවැනි කෘතීම කාචයකි


සැතකමෙන් පසුව ඇස සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලැබේ.එසේ කරනු ලබන්නේ ඇසට දුහුවිලි ආදී ආගන්තුක අංශූ ඇතුලු නොවීම සදහාය. සැත්කමෙන් දිනකට පමණ පසුව මෙම ඇසේ ආවරණ ගලවනු ලැබේ.

නමුත් සැත්කමෙන් පසුව මාස එකහමාරක් පමණ යනතෙක් බරවැඩ කිරීමෙන් වැලකිය යුතුය .එමෙන්ම දැඩි දේවල් සැපීම , සපත්තු වල ලේස් ගැටගැසීම වැනි කාර්‍ය්න් වලින්ද ඉවත්විය යුතුය .සැත්කමෙන් මාසයකට පමණ පසුව වෛද්‍ය උපදේශ මත උපැස් යුවල පැලදීම සුදුසුවේ.සැත්කමෙන් මාස 6 ක් යනතෙක් ඇස තුළට දුවිලි ඇතුලු ආගන්තුක ද්‍රව්‍ය යෑම වැලැක්වීම පිණිස කටයුතු කළ යුතුය .



" ඇසේ වපරය " යනු ,තවත් එක්තරා අක්ෂි දෝෂයකි.මෙය ඇතිවීම සදහා නිශ්චිත වයස් සීමාවක් නොමැත.නමුත් ,බොහෝ වපර තත්වයන් ඇතිවනුයේ කුඩා කාලයේදී ඉපදීමත් සමගය.

මෙම වපර තත්වයන් පිළිබඳව සාමාන්‍යයෙන් කිසිදු තැකීමක් නොකරමින් ප්‍රතිකාර නොකරන තත්වයක් සමාජය තුළ පවතී.නමුත්,මොළයේ ඇතිවන රෝග ලක්ෂණ ගණනාවකම අතුරු ප්‍රතිඵලයක් ලෙසට මෙම වපරය ඇතිවිය හැකිය.

වස්තුවක් දෙසට ඇස් දෙකම යොමුකර පැහැදිලිව නිරීක්ෂණය කිරීමේදී එක් ඇසක් එම වස්තුවෙන් ඉවතට යොමුවෙන පරිදි පවතීනම් ,එය ඇසේ වපරමය තත්වයක් ලෙසට අනුමානකල හැක.

මෙවැනි වපරයන් වල ආකාර කිහිපයක් පවතී.ඒවානම්,නාසය දෙසට යොමු වී ඇති වපර ,ඇසෙන් ඉවතට යොමුවී ඇති වපර , උඩට හා පහලට යොමු වී ඇති වපර වේ.නමුත් මුහුණේ ඇති සමහර වෙනස්කම් හේතුවෙන්ද ඇසේ වපරයක් ඇතැයි අනුමාන කරයි.එවැනි වපර සත්‍ය නොවූ වපරයන් ය.වපරයක් සත්‍ය හෝ අසත්‍යය බව තීරණය කළ යුත්තේ විධිමත් වෛද්‍ය පර්‍යේක්ෂණයකින් පසුව පමණි.

වපරයන් ඇතිවීමට සදහා ඇස , දෘෂ්ටික ස්නායුව මෙන්ම මොළයේ බලපෑම් පැවතිය හැකිය.එලෙස වපරයන් ඇතිවීම සදහා බලපාන හේතු සාකච්ඡා කරමු ,

• බොහෝ වපර තත්වයන් ඇතිවන්නේ උපන් අවස්ථාවේ සිටමය.

ඕනෑම දරුවෙකුගේ උපන් අවස්ථාවේ සිට මාස 06 ක් යනතෙක් ඇසේ වපරමය තත්වයක් පැවතීම සාමාන්‍ය වේ.

මෙයට හේතුව වන්නේ,අක්ෂි ගෝලය පාලනය කරන පේශි,මොළයට සම්බන්ධ කරන අක්ෂි චාලක ස්නායුව මුල් අවධියේදී තරමක් දුර්වල තත්වයේ පැවතීමයි.එමනිසා ,ඉපදී මාස 06 ක් යනතෙක් තමන්ට අවශ්‍ය ලෙසට අක්ෂි ගෝලය පාලනය කල නොහැකි නිසා සුළු වපර තත්වයක් ඇතිවේ.

නමුත් ,ඉපිද මාස 06 කට පසුව අක්ෂි ගෝලය හා මොළය අතර හොද සම්බන්ධතාවයක් අක්ෂි චාලක ස්නායුව මගින් ඇතිකරයි.

එමනිසා ,ඉපිද මාස 06 කට පසුවත් මෙම වපර තත්වය දරුවෙක්ගේ පවතීනම් ,එය වෛද්‍යවරෙක් වෙතට පෙන්විය යුතුය.මෙහිදී කුඩා දරුවාගේ ඇසේ මෙන්ම මොළයේ ද විවිධ රෝග නිසා මෙම තත්වය ඇතිවිය හැකි අතර කුඩා කාලයේ දී මෙය හදුනාගැනීම මගින් වපර තත්වයන් මෙන්ම අනෙකුත් පවතින රෝග තත්වයන්ද සුව කිරීම තරමක් පහසු වන නිසාය.


කුඩා දරුවෙකුගේ ඇසේ වපර තත්වයක් සහ අනෙකුත් අක්ෂි ආබාධ ඇත්දැයි පරීක්ෂා කරන ආකාරය.

ඊලඟ ලිපියෙන් හමුවෙමු.............

D.H.S.L


" දිනපොත - Dairy "  Facebook පිටුව සමග සම්බන්ධ වී ලිපි පළමුව පරිශීලනය කිරීම සදහා මෙතනින් පිවිසෙන්න.

Friday, 14 September 2018

හයවෙනි දිගහැරුම (#6)

ඇසේ සුද ඇතිවීම යනු තවත් එක්තරා අක්ෂි ආබාධයක් වේ.

නූතනයේ දී මෙය සදහා වයස් පරතරයක් නොමැත .මෙම රෝගය සම්බන්ධයෙන් ඔබ පුදුමයට පත්වෙන කරුණ නම් ,අද දින උපදින අතදරුවාගේ සිට මියයාමට සිටින මහල්ලා දක්වා මෙම රෝගයේ උරුම කරුවන් විය හැකිය.

සාමාන්‍යයෙන් බොහෝ දුරට ඇසේ සුද ඇතිවන වයස් සීමාව අවුරුදු 60 පසුවූ ලෙසට පැවසුවත් වයස අවුරුදු 40-50 සීමාවේ පුද්ගලයින්ද මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය .එමෙන්ම ,දරුවෙකුගේ උත්පත්තියෙන් ඇතිවන ඇසේ සුද තත්වයක් ද පවතී.

අක්ෂි කාචයේ සුද ඇතිවූ විට මුල් අවධියේදී රෝගී ලක්ෂණ රෝගියාට පමණක් දැනෙන අතර රෝගය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වනවිට පහත රූපයේ පරිදි බාහිර පුද්ගලයෙකුට වුවද ,ඇස තුළ( බොහෝ විට කළු ඉංගිරියාව ආශ්‍රිතව ) සුදු පැහැයක් ඇතිවීම හොදින් බලාගත හැකිය.



ඇසේ සුද ඇතිවීම සදහා බලපාන්නේ,අක්ෂි කාචයයි.මෙම කාචය තැනී ඇත්තේ ප්‍රෝටීන හා ජලය මගින්වේ.මෙම ප්‍රෝටීන මතින් ජලය ගමන් කිරීමෙන් අක්ෂි කාචයේ පිරිසිදු බව පවත්වා ගනී.

වයසට යාම සහ වෙනත් හේතු නිසා අක්ෂි කාචය මත මුලින්ම කුඩා කොටසක එම ප්‍රෝටීන ආවරණයක් බැදීම සිදුවීම නිසා කාචයේ පාරදෘශ්‍යභාවය හෙවත් විනිවිදභාවය ක්‍රමයෙන් අඩුවිය හැක .

මෙයට මුල් අවස්ථාවේදී ප්‍රථිකාර නොකිරීම මගින් අක්ෂි කාචය මත එම ප්‍රෝටීන ආවරණයේ ව්‍යාප්තිය වැඩිවී කාචයේ සම්පූර්ණ පාරදෘශ්‍යභාවයම නැතිවී යාහැකිය.එමගින් අන්ධභාවයට පත්වීමේ අවධානමක් පවතී .එනම් ,ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා රෝගී තත්වයට පරිවර්තනය විය හැකිය.

( ග්ලූකෝමා යනු,ඇස් අන්ධ කරන නිහඩ මාරයෙක් වේ.)

පහත රූප සටහනෙහි මුල් කොටසින් පවතින්නේ සාමාන්‍ය නීරෝගී අක්ෂි කාචයක් සහිත ඇසකි.එහි අක්ෂි කාචයේ පාරදෘශ්‍ය බව හොදින් පවතී .බාහිර පරිසරයේ කිසියම් දර්ශණයක් එවැනි නීරෝගී ඇසක් මගින් නිරීක්ෂණය කිරීමේදී පෙනෙන ආකාරය පහලින් පවතී.

දෙවන කොටස මගින් දක්වන්නේ අක්ෂි කාචයේ සුද මතුවූ රෝගී ඇසකි.අක්ෂි කාචය තරමක් සුදු පැහැ ගැන්වී ඇති ආකාරයක් පෙනේ.එවැනි ඇසක පාරදෘශ්‍යභාවය කෙමෙන් වියැකී යයි.එවැනි රෝගී ඇසක් මගින් බාහිර පරිසරයේ කිසියම් දර්ශණයක් නිරීක්ෂණය කිරීමේදී රෝගී පුද්ගලයාට එය පෙනෙන ආකාරය එම කොටසට පහළින් පවතී.



මෙසේ ක්‍රම ක්‍රමයෙන් නිරීක්ෂණය වන දර්ශණ පථය බොද වී ප්‍රතිකාර නොකරන්නේ නම්, අවසානයේදී ඇස් අන්ධ වේ.

ඇසේ සුද ඉවත් කිරීමේ ක්‍රමය මුලින්ම සොයාගෙන දැනට වසර 500 ක් පමණ වේ.එය සිදුකරනු ලැබූවේ ඉන්දීය අක්ෂි වෛද්‍යවරයෙකු වූ " සූසත්‍ර " නැමැති ජීවකයාය.වෛද්‍ය විද්‍යව මෙතරම් දියුණු නොවූ එවන් කාලයක දී ඔහු ඉදිකටුවක් භාවිතයෙන් ඇසේ සුද අක්ෂි කාචයෙන් පිටුපසට තල්ලු කර සාර්ථක අක්ෂි සැත්කමක් සිදුකරන ලදී.

නූතන වෛද්‍ය විද්‍යාවට අනුව ඇසේ සුද ඇතිවීම් වර්ග 03 කි ,

1. අක්ෂි කාචයේ ආවරණ පටලයේ සුද මතුවීම

2. අක්ෂි කාචයේ මැද සුද මතුවීම

3. අක්ෂි කාචයේ ඇතුලත පටලයේ සුද මතුවීම.

මෙලෙස කොටස් තුනකට (03) වෙන්කරනු ලබන්නේ සාමාන්‍යයෙන් ඇසේ සුද ඇතිවෙන ආකාරය හා ඊට බලපාන වයස් සීමාව සැලකිල්ලට ගෙනය.

අක්ෂි කාචයේ ආවරණ පටලයේ සුද මතුවීම ඇතිවන්නේ උපතින්මය.සමහර අළුත උපන් දරුවන්ගේ මෙම සුද මතුවීම පවතී.බොහෝ විට මවට ගර්භනී සමයේදී රුබෙල්ලා රෝගය සෑදීම දරුවාගේ මෙම සුද ඇතිවීමට ප්‍රධාන හේතුවක් වේ.


දරුවා ඉපිද දින 02-03 ක් ඇතුලතදී මෙම ඇසේ සුද ඉවත් කිරීම සිදුකල යුතුය .මෙහිදී ඇසේ සුද ඉවත්කිරීම සදහා අල්ට්‍රාසවුන්ඩ් ප්‍රතිකාර ක්‍රමය හෝ ලේසර් ප්‍රතිකාර ක්‍රමය යොදාගනී.

ඇසේ සුද ඇතිවීම යනු,බැක්ටීරියා හෝ වෛරස් මගින් ඇතිවන ආසාධිත රෝගයක් නොවන අතර එහි ව්‍යාප්තිය අනුව ප්‍රතිකාර කල යුතුය .

කුඩා දරුවෙකුගේ ඇසේ සුදට ඉහතින් දැක්වූ කාල සීමා වලදී ප්‍රතිකාර නොකලහොත් එම අක්ෂි කාවය පාරදෘශ්‍ය නොවීම නිසා කුඩා කාලයේදී ඇස පාවිච්චියට නොගැනීම නිසා ඇස අලස වේ.එහි ප්‍රතිඵලයක් ලෙසට ඇසේ වපරබවක් ඇතිවිය හැකිය .

ඇස අලස වීම යනු,ඇස එක් එක් දිශාවන්ට හරවන බාහිරස්ත පේශි වල ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීමයි.එම ක්‍රියාව වපරයකට හේතුවේ.

අක්ෂි කාචයේ මැද සුද මතුවීම සාමාන්‍යයෙන් අවුරුදු 60 ට වඩා අඩු පුද්ගලයින් අතර සිදුවේ.මෙම රෝගී තත්වය සදහා වියපත් වීම බලනොපායි.නොසලකා සිටීමේදී ග්ලූකෝමා තත්වය තෙක් වර්ධනය විය හැකිය .

අක්ෂි කාචයේ ඇතුලත පටලයේ සුද මතුවීම ප්‍රධාන වශයෙන්ම සිදු වනුයේ වියපත් වීමත් සමග වේ.වයස අවුරුදු 60-80 අතර දී මෙම සංසිද්ධිය ඇතිවේ.

අක්ෂි කාචයේ මැද හා ඇතුලත පටලයේ සුද මතුවීම සදහා බලපාන ප්‍රධාන නොවූ අවශේෂ කරුණු           ( ප්‍රධාන කරුණු ඉහත එක් එක් මාතෘකා යටතේ දක්වා ඇත ) පහත පරිදි වේ.

• දියවැඩියාව පැවතීම හා එය දිගුකාලීනව ඉහල අගයක වැඩි කාලයක් පැවතීම.
මෙය ග්ලූකෝමා තත්වය කෙරෙහිද බරපතල ලෙසට බලපායි.

• දුම්වැටි හා මත්පැන් භාවිතය.

• අනතුරක් හේතුවෙන් ඇසට හානිසිදු වීම.

• ප්‍රවේණික බලපෑම්.

දෙමාපියන්ට හෝ පවුලේ ආසන්නතම නෑදෑ පුද්ගලයෙකුට මෙම අක්ෂි ආබාධය පවතීනම් ,ඔබට රෝගය ඇතිවීමේ සම්භාවිතාවයක් පවතී.

• දැඩි හිරු රැස් වලට නිරාවරණ වීම.

ඕසෝන් ස්ථරය පැවතියත් කිසියම් හෝ පාරජම්බුල කිරණ ප්‍රමාණකට අපි නිරාවරණය වේ.එමෙන්ම ,කාර්මීකරණයේ ප්‍රතිඵලයත් සමග ඕසෝන් ස්‍ථරය ක්ෂය වීමේ අවධානමකටද යොමුවී ඇත.මෙය සදහා ඇති හොදම පිලියම වන්නේ,ප්‍රමිතියකින් යුතු අව්කණ්නාඩියක් පැලදීමයි.ශ්‍රී ලංකාව වැනි සමකය ආසන්න රට වලට මෙය අත්‍යාවශ්‍ය වේ.


• වයසට යෑමත් සමග පෝෂණ ඌනතාවලට ලක්වීම.

මෙහිදි විශේෂයෙන්ම ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල හා විටමින් ඌනතාවයන් බලපායි.

• දේහයේ ප්‍රධාන තරලය වන ජලයේ හිගතාවය නිසා ඇතිවන විජලණ තත්වයන්.

දේහයේ පරිවෘත්තිය ප්‍රතික්‍රියා මනා ශීඝ්‍රතාවයකින් යුක්තව සිදුවීම සදහා ජලය අත්‍යාවශ්‍ය වේ.අක්ෂි කාචයේ ප්‍රෝටීන තුලින් ගමන් කරමින් එය පිරිසිදු කිරීමට දායක වන්නේ ජලයයි.එමනිසා ජල හිගතාවයකදී,විජලණ තත්ව යටතේදී කාචයේ අමතර ප්‍රෝටීන ආවරණ බැදීමක් සිදුවේ.

මෙය සදහා උදාහරණයක් සලකමු ,

ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත වලට සමහර ඝෘතු වලදී උෂ්ණත්වය 45 - 50°C වැනි අගයක් ගනී.අධික උෂ්ණත්වය නිසා ඔවුන්ගේ පරිවෘත්තිය ශීඝ්‍රතාවය අවම අගයක් ගනී.එහිදි පුද්ගලයින් තුළ විජලණ තත්‍වයන් බොහෝ විට ඇතිවේ.එහි ප්‍රතිඵලයක් ලෙසට ,වයස අවුරුදු 40 දී පමණ බොහෝ දෙනෙකුට ඇසේ සුද තත්වයන් ඇතිවේ.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වය 37 - 40°C පමණ වේ.එහි ප්‍රතිඵලයක් ලෙසට ඉන්දියානුවන්ට වඩා අඩු විජලණ තත්වයක් ලාංකිකයින් තුළ පවතී .එමනිසා ,බොහෝ අවස්ථාවලදී අවුරුදු 60 ඉක්මවූ පසු ලාංකිකයින් තුළ ඇසේ සුද ඇතිවීම වාර්තා වේ .පරිවෘත්තිය ප්‍රතික්‍රියා ප්‍රශස්‍ත ලෙසට පවත්වා ගැනීමේ ප්‍රශස්ත උෂ්ණත්වය වන්නේ 35 - 40 °C අගයයි.

අධික ශීත තත්වයක් පවතින බොහෝ යුරෝපීය රටවලද ජීවත් වන පුද්ගලයින්ට මෙම විජලණ තත්වයන් පවතී.එයට හේතුව වන්නේ, දේහයේ පරිවෘත්තිය ප්‍රතික්‍රියා සිදුවීමේ ශීඝ්‍රතාවය අවම අගයක් ගැනීමයි.එවැනි රටවල පුද්ගලයින්ටද වයස් ගතවීමට පෙර ඇසේ සුද මතුවීමේ අවධානමක් පවතී.

එමෙන්ම ,ශීත කාමර වල දෛනික ජීවිතය ගතකරන පුද්ගලයින්ටද මෙම ඇසේ සුද මතුවීමේ වැඩි අවධානමක් පවතී.

ඊලඟ ලිපියෙන් නැවත හමුවෙමු.................

D.H.S.L

Facebook ඔස්සේ " දිනපොත - Dairy " පිටුව සමග ඔබට මෙතනින් එකතුවිය හැකිය.



Wednesday, 12 September 2018

පස්වෙනි දිගහැරුම (#5)

අක්ෂි දෝෂ පිළිබඳව සාකච්ඡා කරන දෙවෙනි ලිපිය වන මෙහිදී තවත් අක්ෂි දෝෂ හතරක් පිළිබඳව සලකමු.

විදුර දෘෂ්ටිකත්වය හි සරල පැහැදිලි කිරීම වන්නේ,දුර ඇති දේ පෙනීම හා ලග ඇති දේ නොපෙනීම හෝ අපැහැදිලි වීමයි.එනම්,වස්තුවක් විෂද දෘෂ්ටියේ අවම දුර වන 25cm හෝ ඊට වඩා අඩු දුරක ඇති විට එහි ප්‍රතිබිම්බය නොපෙනීම හෝ අපැහැදිලි වේ,නමුත් එම දුරට වඩා වැඩි දුරකදී වස්තුව මගින් පැහැදිලි ප්‍රතිබිම්බයක් ඇතිකරයි.

මෙම විදුර දෘෂ්ටිකත්වයේදී වස්තුවේ ප්‍රතිබිම්බය ඇසෙන් ඉවතදී සෑදීමක් සිදුවේ.එම නිසා දෘෂ්ටිවිතානයේ මධ්‍යකූපය තුළ වස්තුවේ ප්‍රතිබිම්බයක් සෑදීමක් සිදුනොවේ .

මෙම විදුර දෘෂ්ටිකත්වය ඇතිවීම සදහා බලපාන සාධක දෙකකි ,

• ඇසෙහි කාචය  සංකෝචනය කිරීමට   අක්ෂි කාචයට හා ප්‍රතියෝජක දේහයට නොහැකි වීම.

ලග ඇති වස්තු දෙසට බැලීමේදී අක්ෂි කාචය සංකෝචනය ව් එහි නාභීය දුර අඩු විය යුතුය.නමුත් ,මෙසේ කිරීමට ප්‍රතියෝජක දේහයට හා මෙසේ වීමට අක්ෂි කාචයට නොහැකි විට මෙලෙස සිදුවේ.

• ඇසේ විෂ්කම්භය අක්ෂි කාචයට ගැලපෙන ප්‍රමාණයට වඩා අඩු අගයක් ගැනීම .

මෙය උපතින්ම ලැබූ ආබාධයක් වේ.මෙහිදී ,වස්තුවේ ප්‍රතිබිම්බය ඇසෙහි දෘෂ්ටිවිතානයෙන් එපිට / ඈතින් ඇතිවේ.

මෙම ආබාධය සමනය කරගැනීම සදහා උත්තල කාච සහිත උපැස් යුවල පැලදීම හෝ තම කැමැත්ත පරිදි එවැනි ස්ඵර්ශක කාච ඇසට යෙදිය හැකිය.
උත්තල කාච මගින් ආලෝක කිරණ අභිසරණය      (අකුලවයි ) කරනු ලබයි.මෙම අභිසරණය නිසා ඇසෙන් ඉවතට යන ආලෝක කිරණ ඇස තුළට තවත් යොමුවී දෘෂ්ටිවිතානයේ මධ්‍යකූපය අසලදී ප්‍රතිබිම්බය සාදයි.

මෙසේ ආලෝකය ඇස තුලට අභිසරණය වන ප්‍රමාණය යොදන උත්තල කාචයේ නාභීය දුර අනුව වෙනස් වේ.එමනිසා විදුර දෘෂ්ටිකත්වය සදහා උපැස් යුවල පැලදීමේදී වෛද්‍ය අනුමැතියක් සහිත විය යුතුය .

ඉහතින් දැක්වූ අවිදුර හා විදුර දෘෂ්ටිකත්ව තවදුරටත් පැහැදිලි වීම සදහා මෙම රූප සටහන් වලට අවධානය යොමු කරන්න .


 මෙම රූපයෙන් දැක්වෙන්නේ, අක්ෂි කාචයේ හෝ ප්‍රතියෝජක පේශි වල දුර්වලතාවයක් නොමැති විටදී වස්තුවක නිවැරදි ප්‍රතිබිම්බයක් දෘෂ්ටිවිතානයේ මධ්‍යකූපය තුළ ඇතිවේ.


මෙය මගින් දැක්වෙන්නේ ,අවිදුර දෘෂ්ටිකත්වය ඇති ඇසක ප්‍රතිබිම්බය ඇතිවෙන ආකාරයයි.අක්ෂි කාචයේ ඇසේ හැඩය හා ප්‍රතියෝජක දේහයේ ඇති අසාමාන්‍යතා නිසා ප්‍රතිබිම්බය මධ්‍යකූපයේ නොව ඇස තුළ අක්ෂි කාචය දෙසට වන්නට ඇතිවන බව නිරීක්ෂණය කරන්න .


විදුර දෘෂ්ටිකත්වයහි අවස්ථාවක් මෙමගින් නිරූපණය වේ.වස්තුවේ ප්‍රතිබිම්බය ඇසෙන් ඉවත සෑදීමක් එහි නිරූපණය වේ.මේ සදහාත් කාචයේ,ඇසේ,ප්‍රතියෝජක දේහයේ අකර්මන්‍යතාවයන් බලපායි.

(ඉහත අවස්ථාවන් තුන පිළිබඳව අපැහැදිලිතාවයක් පවතීනම් ,නැවතත් මෙම සටහන සහ හතරවෙනි (#4) සටහන මෙතනින් කියවන්න )

විෂම දෘෂ්ටිකත්වය යනු,වස්තුවක් ඇසට ආසන්නයේ (25cm) දී ප්‍රතිබිම්බය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි අතර ,වස්තුවක් 6m ලෙසට ඇසට කිසියම් දුරකින් පවතින විටදී එම වස්තුව අපැහැදිලි වන අතර වස්තුවේ තිරස් හෝ සිරස් අක්ෂ බොදවූ ස්වරූපයක් ගනී.එහිදී ,එක් නාභීය ලක්ෂයක් වෙනුවට නාභීය ලක්ෂ කිහිපයකට දෘෂ්ටිවිතානය මත නිර්මාණය වේ.

මෙයට හේතු වන්නේ,ස්වච්චයේ මතුපිට ඇති අක්‍රමවත් වූ හැඩයයි.මෙම අක්‍රමවත් හැඩය නිසා වස්තුවේ සිට පැමිණෙන ආලෝක කිරණ ස්වච්චයේදී අනවශ්‍ය ලෙසට වර්තනය වීම් වලට භාජනය වේ.මෙම වර්තනය වීම් නිසා අක්ෂි කාචයට බලපාන ආලෝකයද වෙනස් වන නිසා ප්‍රතිබිම්බය සෑදීමද අවසානයේදී දෝෂ සහගත වේ.

මෙයට යෙදිය හැකි ප්‍රතිකර්මය වනුයේ ,අවතල කාච සහිත උපැස් යුවල හෝ ස්ඵර්ශක කාච පැලදවීමයි.

නමුත් ,මෙහිදී කිසියම් විශේෂත්වයක් පවතී.මිනිසාට ඇස් යුගලක් පවතින නිසා ස්වච්චයන් දෙකක් ඇත.මෙම ස්වච්ච යුගලයේ අක්‍රමවත් හැඩයන් දෙකක් පැවතිය හැකිය.එමනිසා ,යොදන කාච වල නාභීය දුර වෙනස් වන නිසා ඇස් දෙකට යොදන කාච වල ඝනකම ද වෙනස් විය හැකිය .

මෙම ලිපිය කියවන ඔබ වයස අවුරුදු 40 - 50 කට ආසන්න පුද්ගලයෙක් නම් ඔබටත් පහතින් දක්වන අක්ෂි රෝගයේ අත්දැකීම් ඇතුවාට සැකයක් නැත .


හතලිස් ඇදිරිය යනු,පුද්ගලයෙක් වයසට යාමේ මිනුමක් ලෙසට සැලකිය හැකි අක්ෂි ආබාධයක් ලෙසට සාමාන්‍ය සමාජය හදුන්වයි.නමුත්,මෙම රෝගයේ මූලික ආරම්භක අවස්ථාව තරමක කුඩා කාලයේ සිටම ඇතිවන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

හතලිස් ඇදිරියේදී,ඇසට දුරින් පවතින වස්තු නිරීක්ෂණය කල හැකි වන අතර ,විශද දෘෂ්ටියේ අවම දුර වූ 25cm සහ එයට වඩා ආසන්නයෙන් ඇති වස්තු වල ප්‍රතිබිම්බය නොපෙනීම හෝ අපැහැදිලි වීමක් සිදුවේ.

සාමාන්‍යයෙන් මෙම හතලිස් ඇදිරිය අක්ෂි ආබාධය ඇතිවූ පුද්ගලයෙකු පොත් පත්තර බැලීම ,ඉදිකටුවට නූල දැමීම ,මූර්ති නෙලීම වැනි සියුම් වැඩක නිරත වීමේදී එම වස්තුව සාමාන්‍ය පුද්ගලයකු බලන දුරට වඩා වැඩි දුරකින් බැලීමට හෝ ඇස් කුඩා කර බැලීමට උත්සාහ කරයි.එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසට ඇස් තවදුරටත් විඩාවට පත්වී ග්ලූකෝමා රෝගී තත්වයක් තෙක්ම අක්ෂි රෝගය වර්ධනය විය හැකිය .

හතලිස් ඇදිරිය ඇතිවීමේ ප්‍රධාන හේතු 02 කි,

1. ලග පිහිටි වස්තුවක් මගින් දෘෂ්ටිවිතානයේ මධ්‍යකූපය මත ප්‍රතිබිම්බය ඇතිකිරීමට නම් අක්ෂි කාචය සංකෝචනය හෙවත් ඇදීමට ලක්විය යුතුය .එසේ සංකෝචනය වීම සදහා අක්ෂි කාචයේ ප්‍රත්‍යාස්ථ බව ප්‍රමාණවත් නොවීම.

2. අක්ෂි කාචය සංකෝචනය සිදුකරනු ලබන්නේ ඒ දෙපස ඇති ප්‍රතියෝජක දේහවල ඇති ප්‍රතියෝජක පේශි වලිනි.මෙම ප්‍රතියෝජක දේහ වලට අක්ෂි කාචය සංකෝචනය කිරීමට නොහැකි වූ අවස්ථා වලදී මෙසේ සිදුවේ.

මෙම හේතූන් දෙකම බහුල වශයෙන් වර්ධනය වන්නේ,වයසට යාමේ ප්‍රතිඵලයක් ලෙසින්‍ ය.වයසට යාමේදී අක්ෂි කචය හා ඒ ආශ්‍රිත පේශි අකර්මණ්‍ය වීමක් සිදුවේ.කුඩා කාලයේදී සිටම මෙය ඇතිවුනත් මෙහි උච්චතම අවධිය තීරණය වන්නේ වයසට යාමත් සමගවේ.

මෙම අක්ෂි රෝගය සදහා ප්‍රතිකාර ක්‍රම දෙකක් නිර්දේශ කළ හැකිය ,

1. වෛද්‍ය නිර්දේශ මත උත්තල කාච යෙදූ උපැස් යුවලක් හෝ ස්ඵර්ශක කාච පැලදවීම.

2. අවශ්‍ය නම් අක්ෂි කාචය ඉවත් කර කෘතීමව අක්ෂි කාචයක් ඇසට බද්ධ කිරීම.

ඊලඟ ලිපියෙන් නැවත හමුවෙමු.................

D.H.S.L

Facebook ඔස්සේ " දිනපොත - Dairy " පිටුව සමග ඔබට මෙතනින් එකතුවිය හැකිය.



Monday, 10 September 2018

සිවුවැනි දිගහැරුම (#4)

අභ්‍යන්තර ස්නායුක ස්ථරයේ අභ්‍යන්තර සිට පිටතට වන්නට මෙම අනුපිළිවෙලට ස්ථර පිහිටයි .

1. ද්වීධ්‍රැව නියුරෝන සෛල ස්ථරය
2. ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල ස්ථරය
3. අපිච්චද සෛල ස්ථරය

දෘෂ්ටිවිතානය පුරා මෙම ස්ථර පැතිරී පවතී .
පහත රූප සටහනට අනුව දෘෂ්ටිවිතානයේ ස්ථර තුන අනුපිළිවෙළින් නිරූපණය වේ.



ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල ස්ථරයේ පිහිටන ප්‍රධාන සෛල වර්ග දෙකක් (02) වේ.

• යෂ්ටි සෛල
• කේතු සෛල

ඇසේ ප්‍රධානතම කාර්යයන් සිදුකරන්නේ මෙම ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල වේ.

යෂ්ටි සෛල තරමක් යෂ්ටි හැඩයෙන් යුක්ත වේ.සාමාන්‍යයෙන් මිලියන 120 ක් පමණ පවතී.එනම් ,කේතු සෛල වලට වඩා 20 ගුණයක් යෂ්ටි සෛල අඩංගු වේ.දෘෂ්ටිවිතානය තුළ සමාකාර ව්‍යාප්තියක් දැරුවත් අන්ධ බිංදුව හා මධ්‍යකූපය තුළ යෂ්ටි සෛල නොපවතී.

යෂ්ටි සෛල අඩු ආලෝක තීව්‍රරතාවයට සංවේදී වන අතර අඩු ආලෝකයේ දී පෙනීම ඇතිකිරීමට දායක වේ.යෂ්ටි සෛල ඇසේ දෘෂ්ටිවිතානයේ කෙළවරට වන්නට තරමක වැඩි සාන්ද්‍රණයකින් යුක්තව පවතී .මෙම යෂ්ටි සෛල වල "රොඩොප්සීන්" නම් දෘෂ්ටි වර්ණකය ඇත .වැඩි ආලෝක තීව්‍රරතාවයේදී මෙම දෘෂ්ටි වර්ණකය ක්‍රියාකාරී නොවේ.

අඩු ආලෝක තීව්‍රරතාවයේදී මෙම යෂ්ටි සෛල මතට ආලෝකය පතිත වීම නිසා එහි ඇති දෘෂ්ටි වර්ණකය විඝටනය වීමනිසා ස්නායු ආවේග ඇතිවේ.මෙම ස්නායු ආවේග ද්වීධ්‍රැව නියුරෝන වල අනුශාඛ්කා වලින් ඇතුළු වී දෘෂ්ටික ස්නායුවට සම්බන්ධ වේ.

කේතු සෛල, තරමක් කේතු හැඩයකින් යුක්ත වේ.යෂ්ටි සෛල වලට වඩා අඩු ප්‍රමාණයක් පවතී.ඇසේ දෘෂ්ටිවිතානයේ පූර්ව දෙසට වන්නට මෙන් පවතී.යෂ්ටි සෛල මෙන්ම අන්ධ බ්ංදුවේ නොපවතී.මධ්‍යකූපය හෙවත් කහලපයේ
100% ක් ම පවතින්නේ මෙම කේතු සෛල වේ.

මෙම පහත රූප සටහනේ පවතින්නේ ඉහතින් දැක්වූ කේතු සහ යෂ්ටි සෛල වල දර්ශීය නිරූපණයක් වේ.

• Rod = යෂ්ටි සෛල
• Cone = කේතු සෛල

ඉහතින් දැක්වූ කරුණු අනුව මෙම සෛල වල හැඩයන් නැවතත් සසදන්න.


කේතු සෛල මගින් ඉටු කරන කෘතයන් 03 කි ,
• වැඩි ආලෝක තීව්‍රරතාවයේදී දෘෂ්ටිය ඇතිකිරීම.

මුලින් සදහන් කල ආකාරයට වැඩි ආලෝක තීව්‍රරතාවයේදී යෂ්ටි සෛල වල වර්ණකය ක්‍රියාකාරී නොවන නිසා,එහිදී ක්‍රියාකාරී වන්නේ කේතු සෛල වල පවතින " පොටොක්සීන් " නම් වර්ණකයයි.

• වර්ණක දෘෂ්ටිය ඇතිකිරීම මගින් වර්ණ හදුනාගැනීමට ක්‍රියාකිරීම.

මෙහි කලින් කියූ ආකාරයට " පොටොක්සීන් " නම් දෘෂ්ටි වර්ණකය ඇත.මෙම වර්ණකයේ වර්ග 03 ක් පවතී.ආලෝකයේ එක් එක් වර්ණ වලට අයත් තරංග ආයාම මගින් මෙම එක් එක් දෘෂ්ටි වර්ණකය උත්තේජනය කරයි.එමගින් වර්ණ හදුනාගැනීමේ සුවිශේෂි වූ කාර්‍යභාරයක් සිදුකරයි.නිල් ,කොළ ,රතු යන වර්ණ වලට අදාළ " පොටොක්සීන් " පවතී.එක් කේතු සෛලයක් තුළ එක් වර්ගයකට අදාළ වර්ණකයක් පවති.මෙම කේතු සෛල මගින් ආලෝකයේ වර්ණ හදුනාගෙන එම වර්ණක ක්‍රියාකාරී වී ස්නායු ආවේග හටගනී.එම ආවේග ද්වීධ්‍රැව නියුරෝන සෛල වල අනුශාඛා වෙතට ගමන් කර එමගින් ස්නායු ආවේග දෘෂ්ටික ස්නායුව ඔස්සේ මොළය වෙතට ගමන් කරයි.

• දෘෂ්ටි තීක්ෂණතාවය ඇතිකිරීම.

තීව්‍රර /හොදින්ම/ පැහැදිලිවම දෘෂ්ටියක් ඇතිකිරීමට දායක වන්නේ මෙම කේතු සෛල වේ.විශාල වූ දෘෂ්ටිවිතානයක් පැවතුනත් ආලෝකය මගින් වස්තුවල ප්‍රතිබිම්බය සෑදෙනු ලබන්නේ මධ්‍යකූපය තුළදී පමණි.එසේ නම් තීව්‍රර දෘෂ්ටි සෑදීමට මෙම මධ්‍යකූපය වගවිය යුතුය .

මුලින්ම සදහන් කළ ආකාරයට මෙම මධ්‍යකූපය තුළ ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල වශයෙන් පවතින්නේ කේතු සෛල පමණි .එනම් ,100% ක්ම දෘෂ්ටික තීක්ෂණතාවය සදහා බලපාන්නේ මෙම කේතු සෛල වේ.

අවසාන ස්ථරය වන්නේ,අපිච්චද සෛල ස්ථරයයි.ඒ පිළිබඳව තුන්වන ලිපියේදී කරුණු සාකච්ඡා කර ඇත .

ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල වල වර්ණක වල වෙනස් වීම් වලින් සෑදුනු ස්නායු ආවේග ද්වීධ්‍රැව ස්නායු සෛල වල අනුශාඛා තුලට ලබාදේ .ඉන්පසු එම ආවේග ද්වීධ්‍රැව ස්නායු සෛල වල අක්සන තුළ ට ඇතුළු වේ.මෙම අක්සන මගින් දෘෂ්ටික ස්නායුව සෑදී,එම දෘෂ්ටික ස්නායුව ඔස්සේ ස්නායු ආවේග මොළය කරා ගමන් කරවයි.

දෘෂ්ටිවිතානය මත පවතින විවිධ ස්ථර වල පැවැත්ම පහත රූපයේ පවතී.ආලෝකය හමුවේ එම සෛල වල ස්නායු ආවේග ඇතිවී දෘෂ්ටික ස්නායුව ඔස්සේ මොළය කරා ගෙන ආකාරය මේ ආකාරයට කෙටියෙන් විග්‍රහ කරමු.





ආලෝකය ( Light ) ඊතලයෙන් දක්වා ඇති ආකාරයට ඇස තුලට ඇතුළු වේ.රතු වර්ණයෙන් යෂ්ටි සෛල / Rod (හැඩය බලන්න ) හා කොළ පැහැයෙන් කේතු සෛල / Cone ( හැඩය බලන්න ) පවතී.ආලෝකය මගින් ඒවායේ පවතින වර්ණක ක්‍රියාකාරී වී හටගන්නාවූ විභව වෙනසින් හටගන්නාවූ ස්නායු ආවේග නිල් වර්ණයෙන් දැක්වෙන ද්වීධ්‍රැව නියුරෝන සෛල / Bipolar cells වල ආරම්භක අනුශාඛා තුළින් ඇතුළු වී එහි අක්සනයෙන් ද්විෂ්ටික ස්නායුව සාදයි .මෙය තුළින් ස්නායු අවේග මොළය කරා ගමන් කරයි.

ඇස තුළ සිදුවන දෘෂ්ටියේ යාන්ත්‍රිණය ඉහත ආකාරයට විස්තර කල හැකි අතර ,සමහර අවස්ථා වලදී ඇසෙහි මෙම යාන්ත්‍රිණය අඩාල වන අවස්ථා පවතී .මෙවැනි තත්ව අක්ෂි ආබාධ ලෙසට හදුන්වයි.එවැනි අක්ෂි ආබාධ කිහිපයකට පිළිබඳව සලකමු ,



1. අවිදුර දෘෂ්ටිකත්වය 

2. විදුර දෘෂ්ටිකත්වය 
3. විෂම දෘෂ්ටිකත්වය 
4. ඇසේ සුද ඇතිවීම
5. හතලිස් ඇදිරිය


අවිදුර දෘෂ්ටිකත්වය පිළිබඳව ඇති සරලතම හැදින්වීම නම්,ලග පෙනීම සහ දුර නොපෙනීමයි.එනම් ,ඇසේ සිට විශද දෘෂ්ටියේ අවම දුර වූ 25 cm ඇති වස්තුවක් පෙනෙන අතර ඇසේ සිට 6 m තරම් දුරින් ඇති වස්තුවක් නොපෙනීම හෝ අපැහැදිලි වීම සිදුවේ.


එහිදී ,අනන්තයේ සිට පැමිණෙන ආලෝක කිරණයක ප්‍රතිබිම්බයක් දෘෂ්ටිවිතානයේ මධ්‍යකූපය මත ඇතිකිරීමට නොහැකි වේ.


මේ සදහා අවතල කාච සහිත උපැස් යුවල හෝ තමන්ගේ කැමැත්ත අනුව ඇසට ස්පර්ශක කාච යොදාගැනීම කළ හැකිය.

මෙම අවිදුර දෘෂ්ටිකත්වයට ප්‍රධාන හේතු 02 ක් පවතී,


•දෘෂ්ටිවිතානයේ මධ්‍යකූපයේ ආලෝකයේ ප්‍රතිබිම්බය ඇතිනොවී,එයට මෙහායින් එනම් ඇස තුලට වන්නට ප්‍රතිබිම්බය හටගැනීම. 

අක්ෂි කාචයේ සහ ප්‍රතියෝජක දේහයේ වෙනස්කම් නිසා මෙය සිදුවේ.සාමාන්‍යයෙන් වස්තුව ඇති දුර අනුව අක්ෂි කාචයේ හැඩය වෙනස්කර ගනිමින් එහි නාභීය දුර වෙනස් වී සුදුසු වස්තු දුරට අනුව අවශ්‍ය තැන ප්‍රතිබිම්බය සෑදීමේ හැකියාවක් අක්ෂි කාචයට හා ප්‍රතියෝජක දේහයට පැවතිය යුතුය .නමුත් ,එසේ කිරීමට අපහසු වූ කල මෙවැනි අක්ෂි රෝග ඇතිවේ.

• ඇසෙහි විෂ්කම්භය වැඩිවීම.

මෙම තත්වය උපතින්ම ඇතිවන බලපෑමකි.එනම් ,අක්ෂි කාචයේ නාභීය දුරට ගැලපෙන පරිදි ඇතිකරන ප්‍රතිබිම්බයේ දුර කාචය හා දෘෂ්ටිවිතානය දක්වා ඇති දුරට වඩා අඩු වීමයි.


අවතල කාචයක් මගින් ආලෝක කිරණ අපසරණ කරන බැවින් (ආලෝක කිරණ විහිදුවයි ) වස්තුවේ ප්‍රතිබිම්බය ඇතිවීම තරමක් දෘෂ්ටිවිතානය දෙසට යොමුකරයි.එම නිසා වෛද්‍ය උපදේශ අනුව මෙම අවතල කාච හෝ ඇසට ස්ඵර්ශක කාච පැලදීම මගින් මෙම දෘෂ්ටි දෝෂය මගහරවා ගතහැකිය.



ඊලඟ ලිපියෙන් නැවත හමුවෙමු .............

D.H.S.L

ලිපියේ පහළින් ඇති මෙම ලිපියේ ගුණාත්මකභාවය ප්‍රතිශතයක් වශයෙන් සටහන් කළ හැකි තීරුවේ ඔබේ මනාපය පළකිරීමට කාරුණික වන්න.



Facebook ඔස්සේ " දිනපොත - Dairy " පිටුව             ( Page ) සමග මෙතනින් එකතු වී නවතම ලිපි රසවිදින්න.


Saturday, 8 September 2018

තෙවැනි දිගහැරුම (#3)

දෙවෙනි  ලිපිය (#2) අවසාන කරනු ලැබුවේ මධ්‍ය වාහිනීමත් ස්ථරයේ එක් එක් කොටස් පිළිබඳව සාකච්ඡා කිරීමෙනි.

ප්‍රධාන කොටස් එසේ දැක්විය හැකි අතර ඒවාට අමතරව කණිනිකාව , තාරාමණ්ඩලය වැනි අනුකොටස් පවතී .

රුධිර ග්‍රාහය මගින් ඇසට අවශ්‍ය පෝෂණය සපයයි .ඇසහි රුධිර වාහිනී සපයනු ලබන්නේ රුධිර ග්‍රාහය මගින් වේ.

අක්ෂි කාචය මගින් ආලෝකය දෘෂ්ටි විතානයේ මධ්‍යකූපය තුළට නාභිගත කිරීම සිදුකරයි.එහිදී ආලෝක වර්තනයක් සිදුකරයි.අක්ෂි කාචය යනු,ද්වී උත්තල කාචයක් වේ.මෙය ප්‍රත්‍යාස්ථ බවකින් යුක්තවේ.


ප්‍රතියෝජක දේහයට සම්බන්ධ වූ ප්‍රතියෝජක් පේශි අක්ෂි කාචය සමග දෙකෙලවරින් සම්බන්ධ වී කාචයේ ආලෝකය මධ්‍යකූපයට නාභිගත විය හැකි පරිදි කාචයේ හැඩය වෙනස් කරයි.


මධ්‍ය වාහිනීමත් ස්ථරයේ පූර්වයෙන් තාරාමණ්ඩලය හා කණිනිකාව පවතී.මේ දෙකම එකතු වී කාර්‍ය් සිදුකරනු ලබයි.ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කිරීම සදහා තාරාමණ්ඩලය මගින් කණිනිකාවේ ප්‍රමාණය පාලනය කරයි.


එනම් ,වැඩි ආලෝක ප්‍රමාණයක් ඇසට පැමිණි පසු තාරාමණ්ඩලය මගින් කණිනිකාවේ ප්‍රමාණය කුඩා කිරීම හා අඩු ආලෝක ප්‍රමාණයක් ඇසට පැමිණි පසු තාරාමණ්ඩලය මගින් කණිනිකාවේ ප්‍රමාණය විශාල කිරීම සිදුකරයි.


ඒ පිළිබඳව සාමාන්‍ය ජීවිතයේ ඇති උදාහරණයක් සලකා බලමු .
දහවල් කාලයේ දැඩි අව්වක් ඇති වේලාවක ඔබ එළිමහනේ ටික වේලාවක් ගතකර නැවතත් තරමක අඩු ආලෝකයක් පවතින නිවස තුළට ඇතුළු වන්න .





එවැනි අවස්ථාවකදී ඇස හා එමගින් බාහිර පරිසරය කෙසේ ඔබට දර්ශණය වේද ?


ඔබ එවැනි අපහසුතාවයන්ට ලක්වන්නේ ඇසේ පවතින මෙම තාරාමණ්ඩලය හා කණිනිකාවේ ක්‍රියාකාරීත්වය නිසාය.


ඔබ එලිමහනේ සිටින විටදී වැඩි ආලෝක ප්‍රමාණයක් ඇස තුලට ඇතුළු වන නිසා එය පාලනය කිරීම සදහා තාරාමණ්ඩලය මගින් කණිනිකාවේ ප්‍රමාණය පාලනය කර එහි විවරය කුඩා කරයි.දැන් ඔබ එලිමහනක සිට මද ආලෝකයක් පවතින නිවස තුලට ඇතුළු වේ.

එහිදී,මද ආලෝකය නිවස තුළ පැවතුනත් තවමත් ඇසේ කණිනිකාවේ විවරය කුඩා වී පවතී.ටික වේලාවකට පසුව නැවතත් පරිසරයේ පවතින ආලෝක ප්‍රමාණයට ගැලපෙන අයුරින් තාරාමණ්ඩලය මගින් කණිනිකාව සකසයි.ඒ ක්‍රියාවලිය සදහා සුළු කාලයක් වැයවේ,ඒ කාලය අතරතුරදී ඔබ අන්ධ චරිතයකට පණ පොවයි.




තාරාමණ්ඩලය සෑදී පවතින්නේ ද "සිනිදු පේශි" මගින් වේ.එනම් ,කණිනිකාවේ විවරයේ ප්‍රමාණය අපට අවශ්‍ය පරිදි පාලනය කළ නොහැක.


අක්ෂි කාචය හා දෘෂ්ටි විතානය අතර පවතින අපර කුටීරයේ "කාච රසය" පවතී.මෙම කාච රසය මගින් අක්ෂි කාචය ඔස්සේ ඇස තුළින් ගමන් කරන ආලෝක කිරණ දෘෂ්ටි විතානයේ මධ්‍යකූපය දෙසට නැඹුරු කිරීමක් සිදුකරයි.මෙම "කාච රසය" කිසියම් දෘෂ්ඝ්‍රාවීතාවයක් ඇති තරලයක් වේ.


අභ්‍යන්තර ස්නායුක ස්ථරය ඇසහි පවතින තෙවන ස්ථරය වේ.මෙහි පවතින කොටස් පහත පරිදි වේ 
1. දෘෂ්ටිවිතානය
2. අන්ධ බිංදුව
3. මධ්‍ය කූපය / කහ ලපය
4. දෘෂ්ටික ස්නායුව


දෘෂ්ටිවිතානය ප්‍රධාන ස්ථර තුනකින් යුක්ත වේ.

• අපිච්චද සෛල ස්ථරය
• ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල ස්ථරය 
• ද්වීධ්‍රැව නියුරෝන සෛල ස්ථරය

අන්ධ බිංදුව,මධ්‍යකූපය ආදිය පවතින්නේ ද මෙම දෘෂ්ටිවිතානය මතම වේ.

අන්ධ බිංදුව දෘෂ්ටිවිතානයේ පැවතුනත් එය මත ආලෝකය මගින් ප්‍රතිබිම්බයක් ඇති නොකරයි.ආලෝකය මගින් ප්‍රතිබිම්බයක් දෘෂ්ටිවිතානයේ ඇතිකරන එකම ස්ථානය වන්නේ මධ්‍යකූපය යි.

ආලෝකය කාචයෙන් ඇතුළු වී මධ්‍යකූපය තුළ ප්‍රතිබිම්බය ඇතිකරන ආකාරය රූප සටහනේ පවතී.දෘෂ්ටික ස්නායුව ඇතිකරන අක්ෂි වෘන්තයේ ආරම්භයේ පවතින අන්ධ බිංදුව මත ප්‍රතිබිම්බය ඇති නොකරන ආකාරය එහිදී නිරීක්ෂණය කරන්න  






අපිච්චද සෛල ස්ථරයේ පවතින සෛල මගින් ඇස තුළට ඇතුළු වන ආලෝකය අවශෝෂණය කිරීමක් සිදුකරයි.

රාත්‍රී කාළයේදී විශේෂයෙන්ම බල්ලන් ,බළලුන් වැනි සතුන්ගේ ඇස් තුළ විශේෂ දිලිසීමක් දක්නට ලැබෙන්නේත් මිනිසාගේ එසේ නොවන්නේත් ඉහත කී අපිච්චද සෛල ස්ථරය එවැනි සමහර සතුන්ගේ නොපැවතීම හා මිනිසාගේ එය පැවතීම නිසාය.





බල්ලන්,බලලුන් වැනි සතුන්ගේ මෙම අපිච්චද සෛල ස්ථරය නොමැති වීම නිසා ඇස තුලට ඇතුළු වන ආලෝකය නැවතත් පරාවර්තනය වීම නිසා මෙලෙස ඇස් දිලිසීමකට ලක්වේ.

සිවුවැනි ලිපියෙන්(#4) නැවත හමුවෙමු.................

D.H.S.L
======================

Facebook ඔස්සේ " දිනපොත - Dairy " පිටුවට මෙතනින් ඇතුළු වී නව ලිපි පරිශීලනය කරන්න .





"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...