Monday 17 September 2018

හත්වෙනි දිගහැරුම (#7)


ඇසේ සුද ඇතිවීම සදහා හේතු වල ඉතිරිය පහත පරිදි සාකච්ඡා කරමු.

මෙම හේතු වල මුල් කොටස හයවෙනි ලිපියේ (#6) පවතින අතර , මෙතනින් එම ලිපිය බලන්න .

• ඇස ක්‍රියාශීලී බවින් තොරව දිගු කාලයක් අලසව පවත්වා ගැනීම .

ඇස මෙන්ම ඕනෑම ඉන්ද්‍රියක් මනා සෞඛ්‍යමත් ආකාරයට පවත්වා ගැනීම සදහා ක්‍රියාශීලී බව අත්‍යාවශ්‍ය වේ.ක්‍රියාකාරීත්වය වැඩිවන විට පරිවෘත්තිය ප්‍රතික්‍රියා සිදුවීමේ ශීඝ්‍රතාවය වැඩිවේ.

උදාහරණයක් ලෙසට ඇස වෙහෙසවා වැඩ කරන ගුරුවරුන්,කර්තෘවරුන්,මහාචාර්යවරුන් වැනි රැකියාවල නියුතු පුද්ගලයින්ට මෙවැනි ඇසේ සුද ඇතිවීමේ සම්භාවිතාවය සාමාන්‍ය පුද්ගලයින් ට සාපේක්ෂව අඩු අගයක් ගනී.

එමෙන්ම සමහර පුද්ගලයින්ට වියපත් වී ඇසේ සුද නොපැමිණියත් තමා සේවයන් විශ්‍රාම ගත් විගස මෙම තත්වය මතුවේ.

• තමන් වැඩිපුර ගැවසෙන නිවස ,සේවා ස්ථානය නිසි ආලෝකකරණයක් නොමැති වීම නිසා ද මෙවැනි තත්ව ඇතිවේ.

ඇසේ සුද ඇති වීම ක්ෂණිකව ඇතිවන දෙයක් නොවේ.කුඩා අවස්ථාවෙන් හටගෙන එය බොහෝ කාලයක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් උච්චතම අවස්ථාව දක්වා වර්ධනය වේ.මෙහි අවසානය වන්නේ ග්ලූකෝමා තත්වයක් බවට පරිවර්තනය වී ඇස් අන්ධ වීමයි.

ඇසේ සුද ඇතිවීම මුල් අවධියේම හෝ තරමක මැද අවධියේදි හදුනාගැනීම මගින් එය ග්ලූකෝමා තත්වයකට භාජනය නොවී එය නිට්ටාවටම සුව කල හැකිය.නමුත් ,ඇසේ සුද කල්ගත වී ග්ලූකෝමා තත්වයකට පරිවර්තනය වුවහොත් එය නිට්ටාවටම සුවකල නොහැකි අතර පාලනය කිරීමක් පමණක් කල හැකිය .

එමනිසා ,ඇසේ සුද ඇතිවීම රෝගයේ මූලික රෝග ලක්ෂණ හදුනාගනිමු.

1. ඇස් වලින් යම් දෙයක් නිරීක්ෂණය කරන විට බොදවී නිරීක්ෂණය වීම.මෙය ආරම්භයේ සුළු වශයෙන් පවතිමින් ක්‍රමයෙන් වැඩිවේ.

2. රාත්‍රී කාලයේදී පෙනීම මුලදී සුළු වශයෙන් අඩුවී ,එය ක්‍රමිකව වැඩිවේ.

3. වර්ණ වියැකී පෙනීම.

4. කෘතීම ආලෝක කදම්බ(විදුලි බල්බ ,පහන් දැල්ල ) සාමාන්‍යයෙන් පෙනෙනවාට වඩා වැඩි දීප්තියකින් යුතුව නිරීක්ෂණය වීම.

5. උපැස් යුවල භාවිතා කරන්නෙක් නම් ,එහි උපැස් කාච නිතිපතා මාරුකරන්නට සිදුවීම.

ක්‍රමිකව අක්ෂි කාචයේ සුද ඇතිවන නිසා දෘෂ්ටිවිතානය මත වස්තුවේ ප්‍රතිබිම්බය නිශ්චිත ස්ථානයක නොසෑදීම නිසා මෙවැනි උපැස් කාච මාරුකරන්නට සිදුවේ.

ඇසේ සුද හදුනාගත් වහාම ඉවත් කල යුතුය .ඒ සදහා දැනට බොහෝ දුරට භාවිතා කරන්නේ සැත්කමක් සිදුකර අක්ෂි කාචය ඉවත් කර ප්ලාස්ටික් කෘතිම කාචයක් යෙදිමයි.

පහත ඇත්තේ එවැනි අක්ෂි කාචයක් යෙදීම සදහා සැත්කමක් සිදුකරන ආකාරයයි.



මීට අමතරව සැත්කමක් සිදු නොකර ලේසර් කිරණ මගින් ප්‍රතිකාර සිදුකර එන්නත් කටුවක් ආධාරයෙන් ඇස තුළ නව අක්ෂි කාචයක් පිහිටුවීමේ නව තාක්ෂණයක් ද පවතී.තවත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට අල්ට්‍රාසවුන්ඩ් මගින් සිදුකරන ඇසේ සුද ඉවත් කිරීමේ ක්‍රමයක් ද පවතී.

දැනට ශ්‍රි ලංකාවේ බොහෝ දුරට සිදුකරන්නේ සැත්කමක් මගින් ඇසේ සුද ඉවත් කිරීමේ ක්‍රමය වේ.

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම සිදුකිරීම පෙර රෝගීයා විසින් පිළිපැදිය යුතු ක්‍රියාකාරකම් සමූහයක් පවතී.

• වෛද්‍ය නිර්දේෂය අනුව සුදුසු අක්ෂි කාචයක් ලබාගැනීම සදහා පෞද්ගලික ආයතනයකින් ඇනවුම් කිරීම.

• වෛද්‍ය නිර්දේශය අනුව ශල්‍යකර්මයයට පෙර සතියකට පෙර හෝ දින තුනකට පෙර FBS , BP, ECG යන පරීක්ෂණ සිදුකර වෛද්‍යවරයාට ලබාදීම.

• ශල්‍යකර්මයට දින තුනකට කලින් වෛද්‍යවරයා ලබාදෙන eye drops ලබාගන්න.

• වෛද්‍යවරයා සමග සාකච්ඡා කරගත් දිනවල අනුව හා එම වේලාවට වඩා වේලාසන රෝහල වෙතට ගොස් පරිසරය හුරුපුරුදු කරගන්න.

වර්තමානයේදී බොහෝ දුරට සිදුවන මෙම සැත්කමක් මගින් ඇසේ සුද ඉවත් කිරීමේදී මුලින්ම රෝගියා නිර්වින්දනය කර පසුව කෘතීම කාචය මැහුම් යොදමින් ඇසට සම්බන්ධ කරයි.

පහතින් දක්වා ඇත්තේ එවැනි කෘතීම කාචයකි


සැතකමෙන් පසුව ඇස සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලැබේ.එසේ කරනු ලබන්නේ ඇසට දුහුවිලි ආදී ආගන්තුක අංශූ ඇතුලු නොවීම සදහාය. සැත්කමෙන් දිනකට පමණ පසුව මෙම ඇසේ ආවරණ ගලවනු ලැබේ.

නමුත් සැත්කමෙන් පසුව මාස එකහමාරක් පමණ යනතෙක් බරවැඩ කිරීමෙන් වැලකිය යුතුය .එමෙන්ම දැඩි දේවල් සැපීම , සපත්තු වල ලේස් ගැටගැසීම වැනි කාර්‍ය්න් වලින්ද ඉවත්විය යුතුය .සැත්කමෙන් මාසයකට පමණ පසුව වෛද්‍ය උපදේශ මත උපැස් යුවල පැලදීම සුදුසුවේ.සැත්කමෙන් මාස 6 ක් යනතෙක් ඇස තුළට දුවිලි ඇතුලු ආගන්තුක ද්‍රව්‍ය යෑම වැලැක්වීම පිණිස කටයුතු කළ යුතුය .



" ඇසේ වපරය " යනු ,තවත් එක්තරා අක්ෂි දෝෂයකි.මෙය ඇතිවීම සදහා නිශ්චිත වයස් සීමාවක් නොමැත.නමුත් ,බොහෝ වපර තත්වයන් ඇතිවනුයේ කුඩා කාලයේදී ඉපදීමත් සමගය.

මෙම වපර තත්වයන් පිළිබඳව සාමාන්‍යයෙන් කිසිදු තැකීමක් නොකරමින් ප්‍රතිකාර නොකරන තත්වයක් සමාජය තුළ පවතී.නමුත්,මොළයේ ඇතිවන රෝග ලක්ෂණ ගණනාවකම අතුරු ප්‍රතිඵලයක් ලෙසට මෙම වපරය ඇතිවිය හැකිය.

වස්තුවක් දෙසට ඇස් දෙකම යොමුකර පැහැදිලිව නිරීක්ෂණය කිරීමේදී එක් ඇසක් එම වස්තුවෙන් ඉවතට යොමුවෙන පරිදි පවතීනම් ,එය ඇසේ වපරමය තත්වයක් ලෙසට අනුමානකල හැක.

මෙවැනි වපරයන් වල ආකාර කිහිපයක් පවතී.ඒවානම්,නාසය දෙසට යොමු වී ඇති වපර ,ඇසෙන් ඉවතට යොමුවී ඇති වපර , උඩට හා පහලට යොමු වී ඇති වපර වේ.නමුත් මුහුණේ ඇති සමහර වෙනස්කම් හේතුවෙන්ද ඇසේ වපරයක් ඇතැයි අනුමාන කරයි.එවැනි වපර සත්‍ය නොවූ වපරයන් ය.වපරයක් සත්‍ය හෝ අසත්‍යය බව තීරණය කළ යුත්තේ විධිමත් වෛද්‍ය පර්‍යේක්ෂණයකින් පසුව පමණි.

වපරයන් ඇතිවීමට සදහා ඇස , දෘෂ්ටික ස්නායුව මෙන්ම මොළයේ බලපෑම් පැවතිය හැකිය.එලෙස වපරයන් ඇතිවීම සදහා බලපාන හේතු සාකච්ඡා කරමු ,

• බොහෝ වපර තත්වයන් ඇතිවන්නේ උපන් අවස්ථාවේ සිටමය.

ඕනෑම දරුවෙකුගේ උපන් අවස්ථාවේ සිට මාස 06 ක් යනතෙක් ඇසේ වපරමය තත්වයක් පැවතීම සාමාන්‍ය වේ.

මෙයට හේතුව වන්නේ,අක්ෂි ගෝලය පාලනය කරන පේශි,මොළයට සම්බන්ධ කරන අක්ෂි චාලක ස්නායුව මුල් අවධියේදී තරමක් දුර්වල තත්වයේ පැවතීමයි.එමනිසා ,ඉපදී මාස 06 ක් යනතෙක් තමන්ට අවශ්‍ය ලෙසට අක්ෂි ගෝලය පාලනය කල නොහැකි නිසා සුළු වපර තත්වයක් ඇතිවේ.

නමුත් ,ඉපිද මාස 06 කට පසුව අක්ෂි ගෝලය හා මොළය අතර හොද සම්බන්ධතාවයක් අක්ෂි චාලක ස්නායුව මගින් ඇතිකරයි.

එමනිසා ,ඉපිද මාස 06 කට පසුවත් මෙම වපර තත්වය දරුවෙක්ගේ පවතීනම් ,එය වෛද්‍යවරෙක් වෙතට පෙන්විය යුතුය.මෙහිදී කුඩා දරුවාගේ ඇසේ මෙන්ම මොළයේ ද විවිධ රෝග නිසා මෙම තත්වය ඇතිවිය හැකි අතර කුඩා කාලයේ දී මෙය හදුනාගැනීම මගින් වපර තත්වයන් මෙන්ම අනෙකුත් පවතින රෝග තත්වයන්ද සුව කිරීම තරමක් පහසු වන නිසාය.


කුඩා දරුවෙකුගේ ඇසේ වපර තත්වයක් සහ අනෙකුත් අක්ෂි ආබාධ ඇත්දැයි පරීක්ෂා කරන ආකාරය.

ඊලඟ ලිපියෙන් හමුවෙමු.............

D.H.S.L


" දිනපොත - Dairy "  Facebook පිටුව සමග සම්බන්ධ වී ලිපි පළමුව පරිශීලනය කිරීම සදහා මෙතනින් පිවිසෙන්න.

No comments:

Post a Comment

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...