Tuesday 25 September 2018

දසවැනි දිගහැරුම (#10)

බෝවන අක්ෂි රෝගය ( ඇස් ලෙඩ )
❆❆❆❆❆❆❆❆❆❆❆❆❆❆❆❆

සාමාන්‍යයෙන් උෂ්ණත්වය අධික කාලවලදී කෙටි කාළයක් තුළ වසංගතයක් ලෙසට බොහෝ පිරිසක් අතර බෝ වන අක්ෂි රෝගයක් පැතිරි යයි.ජනාකීර්ණ ප්‍රදේශ වල මෙය බහුලව පැතිරී යයි.

බෝවන අක්ෂි රෝග සෑදීම සදහා එක් ව්‍යාධිජනකයින් පිරිසක් සහභාගි වේ යයි නිශ්චිතවම කිවනොහැක.විවිධ කාළයන් හා විවිධ දේශගුණික තත්ව හා විවිධ පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය මත මෙම රෝගය ව්‍යාප්තවීම තීරණය වේ.

මෙම බෝවන අක්ෂි රෝග සෑදීම සදහා බැක්ටීරියා ,වෛරස,දිලීර ආදි ව්‍යාධිජනකයින් සහභාගී විය හැකිය .මින්,අක්ෂි ප්‍රදාහය (Conjunctivities) යනු ,එක්තරා බෝවන අක්ෂි රෝගයක් වේ.එය ඇතිවන්නේ වෛරස(Virus) මගිනි.

බෝවන අක්ෂි රෝගයක් යනු,ස්ඵර්ශයෙන් එක් අයෙකුගෙන් තවත් අයෙකුට පැතිරෙන විවිධ ව්‍යාධිජනකයින් මගින් සෑදෙන සාමාන්‍යයෙන් සති දෙකක පමණ (විචලනය විය හැකිය ) රෝගී කාලයකින් යුතු සුවිශේෂි වූ රෝගි ලක්ෂණ දරන රෝගී තත්වයක් වේ.


මෙම ලිපියේ මුල් කොටස නවවෙනි ලිපියේ (#09) ඇත.එය අවශ්‍ය නම්  මෙතනින් බලන්න 

මෙම බෝ වන අක්ෂි රෝග පුද්ගලයින් හට සෑදිමේ සුලහතාවය මත ආකාර දෙකකට (02) වෙන්කර දැක්විය හැකිය.

1. දීර්ඝකාලීනව පවතින ඇස් ලෙඩ

2. අක්ෂි ප්‍රදාහය (Conjunctivities )

මෙම දීර්ඝකාලීන ඇස් ලෙඩ සෑදෙන්නේ බැක්ටීරියාවක් මගිනි.සාමාන්‍යයෙන් සති දෙකක පමණ දීර්ඝ කාලයක් මෙම රෝගය පවතී.ස්ඵර්ශය මගින් මෙය ව්‍යාප්ත වීම සිදුවේ.එක් ඇසකට රෝගය සෑදුනු පසුව තවත් ඇසකට මෙම රෝගය ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් පවති.නමුත් ,නිවැරදි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කරන්නේ නම් ,මෙය ව්‍යාප්ත වීම අවම වේ.

දීර්ඝකාලීන ඇස් ලෙඩ මගින් ඇතිවන රෝගී ලක්ෂණ මෙසේ දැක්විය හැකිය.

1. ඇස් දැවිල්ල

2. ඇස් වටේ ඉදිමුම් ස්වරූපයක් ගැනිම

3. ඇස් වලින් අධික ලෙස කබ ගැලීම

4. උණ සහ උගුරේ වේදනාව

5. ඉර දෙස බැලීම අපහසු විම

6. ඇස් වලට වැලි වැටුනා සේ ඇස කෙවීමට ලක්වීම

7. ඇස් වලින් කදුළු ගැලීම 

බෝවන තවත් අක්ෂි රෝගයක් වූ අක්ෂි ප්‍රදාහය (Conjunctivities) සෑදෙන්නේ වෛරසයක් මගින් වේ.මුලින් කථා කල දීර්ඝකාලීන ඇස් ලෙඩ මෙන් සතිදෙකක කාලයක් ලෙඩ ඇතිනොකරයි.සාමාන්‍යයෙන් දින 03-04 ක කාලයක් මෙම රෝගී තත්වය පවතී.

මෙම අක්ෂි ප්‍රදාහයේ රෝගී ලක්ෂණ වන්නේ පෙර කියූ දීර්ඝකාලීන ඇස් ලෙඩේ ලක්ෂණම වන අතර වෛද්‍ය පරික්ෂණයකින් තොරව මෙම රෝග දෙක වෙන්කර හදුනාගත හැකි වෙනස්කම වන්නේ අක්ෂි ප්‍රදාහයේදි අධික ලෙසට කබ ගැලීමක් දීර්ඝකාලීන ඇස් ලෙඩේදී මෙන් සිදු නොවීමයි.

සාමාන්‍යයෙන් වෙනත් විවිධ හේතූන් මගින් ඇස රතු වීමක් සිදුවෙනවා.එවැනි අවස්ථා බෝවන අක්ෂි රෝගයක් නොවන නමුත් ,ඇස රතුවිය හැකි හේතූන් සලකමු .

1. ඇසට විවිධ ආගන්තුක ද්‍රව්‍ය ඇතුළු වීම.(වැලි,විවිධ සතුන්,කොළරොඩු)

2. විවිධ රසායනික ද්‍රව්‍ය ඇසට වැටීම.

3. ඇසට පහරක් එල්ල වීම මගින් අනතුරක් සිදුවීම.

4. ආහාර මගින් විවිධ ආසාත්මිකතාවයන් මතුවීම.

5. වෛද්‍ය නිර්දේෂයකින් තොරව සිවි කාච භාවිතා කිරීම.

6. වියපත් වීම සමග ඇසේ කදුළු ඝ්‍රාවය අවම විම නිසා ඇස වියලීමට ලක්වීම.

මෙවැනි අවස්ථා නිසා සාමාන්‍යයෙන් ඇස රතු විය හැකිය.නමුත් මෙවැනි ඇසේ රතුවීමක් පැය 24 කට වඩා පවති නම් එය බෝවන අක්ෂි රෝගයක් යැයි පෙර නිගමනයකට පැමිණිය හැකිය,එහිදී වෛද්‍ය උපදෙස් ලබාගැනීම උචිත වේ.

සියළුම බෝවන අක්ෂි රෝග ව්‍යාප්ත වන්නේ ස්ඵර්ශය මගින් නිසා නිවැරදි හා යහපත් සෞඛ්‍ය වත්පිළිවෙත් පුරුදු වීම මගින් වසංගතයක් ලෙසට මෙම රෝග බෝවීම පාලනය කරගත හැකිය.එලෙස පුරුදු විය යුතු සෞඛ්‍යමත් පුරුදු පහත පරිදි වේ .

1. බෝවන අක්ෂි රෝගයක් සෑදුනු සැණින් ඒ සදහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.කල්ගත වීම මගින් තම ශරීරයේ ප්‍රතිශක්තීකරණ හා ව්‍යාධිජනක ප්‍රබලතාවය මත රෝගයේ වෙනත් අතුරු ප්‍රතිඵල පැවතිය හැකි නිසා.

2. රෝගය සුවවන තෙක් පොදු ස්ථාන වල ගැවසිම,පොදු ප්‍රවාහන භාවිතය වැනි කටයුතු හැකිතාක් අවම කරන්න .රෝග සුව වීමට ගතවන්නේ සති දෙකක පමණ කාලයක් නිසා එය අපහසු නොවේ.

3. අයෙකුගෙන් තවත් අයෙකුට බොහෝ අවස්ථා වලදී බෝවන්නේ ස්ඵර්ශය මගින් නිසා සෑම විටම තමන්ගේ දෑත් පිරිසිදුව තබාගන්න.මෙවැනි වසංගත කාලවලදි ඔබ රෝගියෙකු නොවූවත් ඔබ විසින් තමන්ගේ දෑස් ඇල්ලීමට ප්‍රථම දෑත් සෝදාගන්න.

4. ඇස් වලින් කබ හෝ කදුළු ගැලීමකදී ඒවා පිසදැමීමට ලේන්සු හෝ ටිෂූ භාවිතා කරන්න,දෑත් මගින් ඒවා පිසදැමීමට නොයන්න.පසුව එවැනි ලේන්සු හෝ ටිෂූ විනාශ කර දමන්න .

5. සෑමවිටම දෑස අසල පිරිසිදුව තබාගන්න .මැස්සන්,කෝදුරුවන් වැනි සතුන්ට ඇස් මතට වැසීමට ඉඩ නොතබන්න ,ඔවුන් ඇස් ලෙඩ ව්‍යාප්ත කරන හොද වාහක විශේෂයකි.

6. පොදුවේ ඇදන්,කොට්ට උර,තුවායන්,ලේන්සු භාවිතා නොකරන්න,සිප වැලදගැනීමෙන් ද වළකින්න.

7. පිහිනුම් තටාක වල නෑම සුදුසු නොවේ.එමගින් රෝගය ව්‍යාප්ත වීම ඉක්මන් වේ.

මෙවැනි බෝවන අක්ෂි රෝග පිළිබඳව සමාජයේ විවිධ වැරදි මතවාද නිර්මාණය වී ඇත.ඒ පිළිබඳව මදක් සාකච්ඡා කර බලමු.

• අක්ෂි රෝග සෑදුනු පසුව ආහාර තෝරාගැනීමේදි ප්‍රවේශම් විය යුතු බව.

එය සාවද්‍ය කරුණකි.වෙනදා ගත් පුරුදු ආකාරයට සමබල ආහාර වේලක් ගැනීම ප්‍රමාණවත් වේ .ආහාර තේරීමක් කළයුතු නැත.

• මෙවැනි බෝවන අක්ෂි රෝගයක් සෑදුනු පසුව නෑම අහිතකර බව.

අසත්‍යය කරුණකි.මක්නිසාදයත් ,ඇස් වල පිරිසිදු බව මෙහිදී අත්‍යාවශ්‍ය කරුණකි.වෙනත් රෝග තමන්ට නොපවතීනම් ,මෙම රෝගයේදී දිනපතා වුවත් නෑම සුදුසු වේ.

• නිසි වෛද්‍ය උපදෙස් වලින් තොරව සාමාන්‍ය අත් බෙහෙත් රෝගය සදහා භාවිතා කිරීම.

එය නුසුදුසු ක්‍රියාවක් වේ.නිවසේදී මද රස්නයක් ඇති උණු වතුරෙන් හෝ ඇල් වතුරෙන් රෝගී ඇස සේදීම සුදුසු වන අතර වැඩිදුර ප්‍රතිකාර සදහා වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් විය යුතුය .(බටහිර වෛද්‍ය ක්‍රමය තුළ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළද මෙම රෝග වලට සුදුසු ,ප්‍රත්‍යක්ෂ ඖෂධ රාශියක් පවතී.)

අක්ෂි ප්‍රදාහය (Conjunctivities) වැනි වෛරස (Virus) මගින් සෑදෙන ඇස්ලෙඩ සාමාන්‍යයෙන් අතුරු ආබාධ ඇති නොකරත් දීර්ඝකාලීන අක්ෂි රෝගය බැක්ටීරියාවක් මගින් ඇති කරන නිසා එම රෝගය මගින් රෝගයට නිසි වෛද්‍ය ප්‍රතිකාර සිදුනොකලහොත් අතුරු ආබාධ ඇති කල හැකිය.


ඊලඟ ලිපියෙන් නැවත හමුවෙමු

D.H.S.L

❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃

Facebook ඔස්සේ නවතම ලිපි පරිශීලනය කිරීම සදහා " දිනපොත - Dairy " පිටුව සමග මෙතනින් එකතු වෙන්න.


No comments:

Post a Comment

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...