Thursday 20 September 2018

අටවැනි දිගහැරුම (#8)

වපරය සහ ග්ලූකෝමා රෝගය  ❆❆❆❆❆❆❆ 

අක්ෂි ආබාධයක් වූ වපරය ඇතිවීමට බලපාන හේතු වල මුල් කරුණු හත්වෙනි ලිපියේ (#7) ඇති අතර එහි ඉතිරි වූ කරුණු මුලින්ම සාකච්ඡා කරමු.

අවශ්‍ය නම් හත්වෙනි ලිපිය(#7) මෙතනින් බලන්න .
• මොළයේ අක්ෂි චාලක ස්නායු මගින් ඇසේ චලනය පාලනය කරන ප්‍රදේශයේ කිසියම් රෝගී තත්වයක් නිසා අකර්මණ්‍ය වීම.

සමහර අවස්ථා වලදී මොළයේ පිළිකා තත්වයන් මෙයට හේතු විය හැක .

• ඇසෙහි චලනයන් පවත්වා ගැනීම සදහා මොළය මගින් ඇස වෙතට ස්නායු ආවේග ගෙනයනු ලබන අක්ෂි චාලක ස්නායු අකර්මණ්‍ය වීම.

මේ සදහා එක් අක්ෂි චාලක ස්නායුවක් හෝ අකර්මණ්‍ය වීම ප්‍රමාණවත් වේ .එහිදී ඇස පුද්ගලයාට අවශ්‍ය පරිදි චලනයන් සිදුනොවේ.

• කුඩා දරුවන්ගේ ඉපදීම සමගම ඇසේ සුද ඇතිවීම.

කුඩා දරුවන්ගේ ඇසේ සුද ඇතිවීම සමග ඇස මගින් පෙනීම ලැබීමේ ක්‍රියාවලිය අඩාල වීම නිසා ඇස අලස වේ .දරුවා ඉපිද ආසන්නතම දිනක මෙම ඇසේ සුද ඉවත් කිරීමක් කළහොත් මෙම වපර තත්වයන් ඇතිවීමෙන් දරුවා මුදාගත හැකිය.

• ඇසට සිදුවන හදිසි අනතුරු

ඇසට සිදුවන අනතුරු නිසා අක්ෂි චාලක ස්නායු වලට හෝ දෘෂ්ටික ස්නායුවට හානිවීමේදී මෙවැනි තත්වයන් ඇතිවේ .

• අධික තෙහෙට්ටුව හා අධික නිදිමත නිසා ඇසට වෙහෙසට පත්වීම.

අධික වෙහෙස නිසා අක්ෂි පේශි විඩාවට පත්වේ .එමනිසා ,ඇස නිසියාකාරයෙන් චලනය සිදුනොවීම නිසා වපරමය තත්වයන් ඇතිවේ.

• ඇස කුඩා කර ඇසට වෙහෙසක් වන ආකාරයට හා ඕනෑකමක් නොමැතිව යමක් දෙස බැලීම සහ ඇස ඇදකර බැලීම.

ව්ශේෂයෙන් වියපත් පුද්ගලයින්ට ලග නොපෙනීම,දුර නොපෙනිම,ඇසේ සුද මතුවීම වැනි තත්වයන් වලදී උපැස් යුවල භාවිතා නොකිරිම සහ අවශ්‍ය ශල්‍යකර්මයන් සිදු නොකිරීම නිසා ඇස කුඩා කර අධික වේලාවක් බලාසිටීමේදී අක්ෂි පේශි ස්වාභාවික ස්වරූපයෙන් වෙනස් වීම් වලට භාජනය වීම නිසා ඇස තමන්ට අවශ්‍ය ලෙසට චලනය කිරීමට නොහැකි වේ.

• දියවැඩියාව බොහෝ කාලයක් අධික ලෙසට පැවතිම නිසා ඇසේ සියුම් රුධිර නාල තුල පීඩනය වැඩිවී ඒවා පුපුරා යෑම නිසා .

බොහෝ අවස්ථා වලදී ඇසේ වපර තත්වයන් සදහා ප්‍රතිකාර ක්‍රම පවතී.එවැනි ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සලකා බලමු .

• ඉපදීමත් සමග කුඩා දරුවන්ගේ ඇතිවන ඇසේ සුද තත්වයන් සදහා ඉක්මනින්ම ශල්‍යකර්මයන් මගින් ප්‍රතිකාර කිරීම නිසා දරුවා වැඩිහිටි වන විට ඇතිවන ඇසේ වපර තත්වයන්ගෙන් මුදාගැනීමට හැකිවීම.

• උපැස් යුවල පැලදවීම.

අවිදුර ,විදුර , හතලිස් ඇදිරිය හා සමහර ඇසේ සුද ඇතිවිම් නිසා ඇති වන වපර තත්වයන් සදහා මෙය සුදුසු වේ.

• දියවැඩියාව ,අධිරුධිරපීඩනය වැනි රෝග නිසි ඖෂධ ලබාගැනීම හා වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් රෝග පාලනයක් ඇතිකරගැනීම.

• එක් ඇසක් අලස වීම නිසා ඇතිවන වපර තත්වයන් සදහා සම්පූර්ණ ක්‍රියාකාරී ඇස කිසියම් කාළ සටහනකට අනුව වසාතැබීම.

• අධික ලෙසට දීර්ඝ කාලයක් නිදි මැරීමෙන් වැලකීම.

• අවසාන වශයෙන් අක්ෂි පේශි වල ගැටළුවක් නම් ශල්‍යකර්මයකට භාජනය කිරීම.

මෙහිදී ඇසේ වපරය නැතිකොට එම ඇසේ නිවැරදි ඉලක්කය ගැනීම සදහා ශල්‍යකර්ම කීපයක් වුවත් කිරීමට සිදුවේ.

✥✥✥✥✥✥✥✥✥✥✥✥

ග්ලූකෝමාව යනු තවත් එක්තරා අක්ෂි ගැටළුවක් වේ."ඇස් අන්ධ කරන නිහඬ මාරයා" ලෙසට මෙම ග්ලූකෝමා රෝගය හදුන්වයි.එතරම් බිහිසුනුභාවයක් මෙම රෝගය සතුව පවතී .





බටහිර වෛද්‍ය විද්‍යාවේදී "ග්ලූකෝමාව" ලෙසට හදුන්වන මෙම රෝගය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී "නීලකාච" රෝගය ලෙසට හදුන්වයි.

ග්ලූකෝමාව යනු,නිට්ටාවටම සුව කල නොහැකි රෝගයක් වේ.එම රෝගය කිසියම් පාලනය කිරීමක් පමණක් කලහැකිය.ඒ සදහා වෛද්‍ය නිර්දේශය මත ලබාදෙන්නාවූ ඇසට දමන ඖෂධ නියමිත මාත්‍රවෙන් ,නියමිත වේලාවට ඇසට දැමිය යුතුය .රෝගයේ මූලික අවස්ථාවේදීම එය හදුනාගැනීම මත අන්ධභාවයට පත්වීම වලක්වාගත හැකි අතර එහිදී ද නිට්ටාවට සුවකිරීමක් සිදුකල නොහැකිය.

ග්ලූකෝමා රෝගයට හේතුවන්නේ,ඇසේ පවතින දෘෂ්ටික ස්නායුවට හානිවීමයි.ඇසේ පවතින අධික පීඩනය නිසා මෙලෙස දෘෂ්ටික ස්නායුව හානිවීම සිදුවේ.මෙහිදී ඇසේ පීඩනය යනු,රුධිර පීඩනය නොවේ.

ඇසේ පවතින දෙවන ස්ථරය හෙවත් රුධිර ග්‍රාහය මගින් අනෙකුත් ස්ථර වලට හා සමස්ත ඇසට අවශ්‍ය ශ්වසන වායු,පෝෂක ආදිය ලබාදීම සිදුවේ.මෙවැනි ද්‍රව්‍ය ලබාදීම සිදුවන්නේ,රුධිර ග්‍රාහය මගින් ඝ්‍රාවය කරන තරලයක් මගිනි.කිසියම් හෝ හේතූන් මත මෙම තරලය රුධිර ග්‍රාහය මගින් වැඩියෙන් ඝ්‍රාවය වීම හෝ ඝ්‍රාවය වන තරලය රුධිර ග්‍රාහයෙන් ඉවත් වීම ප්‍රමාද වේ.මෙම ප්‍රමාදය නිසා සමහර අවස්ථා වලිදී මෙම තරලය ඇසේ කාච රසය තුළටද කාන්දුවීමක් සිදුවේ .එහිදී කාච රසයේ දුස්ස්‍රාවීතාවය වෙනස් වීමක්ද සිදුවේ.

පහත රූප සටහනේ පලමු කොටස මගින් නීරෝගී ඇසක් නිරූපණය වන අතර ,දෙවන කොටස මගින් දක්වනු ලබන්නේ ඇසේ රුධිර ග්‍රාහය මගින් ඇති කරනු ලබන පීඩනය ඇසේ දෘෂ්ටිවිතානය මත ඇතිකරනු ලබන ආකාරයයි.


මේ හේතූන් නිසා රුධිර ග්‍රාහය තුළ පීඩනය ඉහල යයි.මේ පීඩනය නිසා තවත් ඇතුළු දෙසට රුධිර ග්‍රාහය තෙරපීමට ලක්වේ.එමනිසා ,ඇසේ තුන්වන ස්ථරය වූ දෘෂ්ටික ස්නායුක ස්ථරයද තෙරපීමකට ලක්වේ.එහිදී ,එම ස්ථරයේ පවතින දෘෂ්ටික සංවේදක සෛලයන් වන කේතු සෛල සහ යෂ්ටි සෛල ද තෙරපීමකට ලක්වීම නිසා ඒවා ක්‍රමක්‍රමයෙන් විනාශ වී යයි.ඊට අමතරව එම ස්ථරයේ පවතින ද්වීධ්‍රැව නියුරෝන සෛලයන්ද මෙසේ තෙරපීම නිසා ක්‍රමක්‍රමයෙන් විනාශ වී යයි.

මෙසේ වීම නිසා දෘෂ්ටිවිතානය මත ප්‍රතිබිම්බය ඇති වුවත් ,එය දෘෂ්ටික ස්නායුව ඔස්සේ මොළයේ අදාල ප්‍රදේශය මතට ගෙනයාම අවහිර වේ.එමෙන්ම කාච රසයේ දුස්ස්‍රාවීතාවය වෙනස් වීම නිසා වස්තුවෙන් පැමිණෙන ආලෝකයේ නිසි වර්තනයක් ඇතිනොවේ.

ග්ලූකෝමා රෝගයේදී දිනකට මෙම ස්නායු 40000 ක් පමණ විනාශවීමක් සිදුවේ .එමනිසා,රෝගයේ මූලික රෝග ලක්ෂණ ඇතිවූ වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම උචිත අතර රෝගය නොසලකා හැරීම තුළින් ක්‍රමක්‍රමයෙන් ඇසේ පෙනීම නොපෙනී ගොස් අවසානයේදී අන්ධභාවයට පත්වේ.අන්ධභාවයට පත්වූ පසුව නැවතත් මියගිය දෘෂ්ටික නියුරෝන සෛල මූලික තත්වයට ගත නොහැක .

මෙම ග්ලූකෝමා රෝගය අවස්ථා දෙකක් ලෙසට පවතී .

1. Open angle

2. Closed angle

මෙම අවස්ථා දෙකට අදාලව රෝගී ලක්ෂණ වෙනස් වේ.බොහෝ දුරට රෝගීන් වාර්ථා වන්නේ Open angle රෝගී තත්වයෙන්‍ ය.

Open angle වර්ගයේ ග්ලූකෝමා රෝගයේ රෝගී ලක්ෂණ සලකමු .

සාමාන්‍යයෙන් මෙම Open angle හෝ Closed angle යන ග්ලූකෝමා රෝගී තත්වයන් සාමාන්‍යයෙන් මතුවෙන්නේ වයස අවුරුදු 40 ඉක්මවූ පසුව වේ.එමනිසා අවමය ලෙසට අවුරුද්දකට වතාවක් හෝ අක්ෂි පරීක්ෂාවක් කරගැනීම සුදුසු වේ.Open angle අවස්ථාවේදී මූලික රෝගී ලක්ෂණ රෝගියාට අවම ලෙසට දැනීමක් සිදුවීම එහි ඇති භයානකම  තත්වයයි.


ඉහත රූප සටහනේ පලමු කොටස මගින් නීරෝගී ඇසක් මගින් කිසියම් දර්ශණයක් පෙනෙන ආකාරය පෙන්නුම් කරන අතර ,දෙවන කොටස මගින් ග්ලූකෝමා රෝගය සෑදුණු හා තවමත් අන්ධ නොවූ ඇසකට කිසියම් දර්ශණයක් පෙනෙන ආකාරය පෙන්නුම් කරයි.එම අවස්ථා දෙකේ වෙනස්කම් හොදින් හදුනාගන්න.ඔබටත් දැනටම ග්ලූකෝමා රෝගය සෑදී ඇත්දැයි මේ ආකාරයට නිගමනය කළ හැකිය .


එහිදී රෝගය ආරම්භයේ සිටම රෝගියා දකින වස්තූන්ගේ දර්ශණ වල දෙපසින් අදුරු වීමක් හෝ නොපෙනීමක් හෝ පවතී.මුල් අවස්ථාවේදී මෙය සුළුවෙන් ආරම්භ වී ක්‍රමක්‍රමයෙන් මෙසේ ඇස දෙපසින් නොපෙනීම හෝ අදුරු වීම වැඩි වීමක් සිදුවේ .එමනිසා රෝගය උත්සන්න වී අන්ධ වීමට ආසන්න වන තෙක්ම රෝගියා බොහෝදුරට මේ පිළිබඳව උනන්දු නොවේ.

මේ නොදැනුවත්කම නිසා ශ්‍රී ලංකාවේ ග්ලූකෝමා රෝගීන්ගෙන් 12% ක් අන්ධභාවයට පත්වේ .එයට හේතුව වන්නේ ,ඔවුන් තමන් ග්ලූකෝමා රෝගීන් යයි හදුනා ගන්නේ අවසාන මොහොතේදී නිසාය.

Closed angle ග්ලූකෝමා තත්වය සාමාන්‍යයෙන් අවම පුද්ගලයින් ප්‍රමාණයකට සෑදේ.Open angle ග්ලූකෝමා තත්වයට සාපේක්ෂව මෙහිදී රෝගියාට රෝග ලක්ෂණ හදුනාගත හැකි ආකාරයට පෙන්නුම් කරයි.එමනිසා,අන්ධභාවයට පත්වීමට පෙර පහසුවෙන් හදුනාගත හැකිය .

මෙම Closed angle තත්වය ක්ෂණිකව සෑදෙන රෝගී තත්වයක් වේ.එය Open angle රෝගී තත්වය මෙන් දීර්ඝ කාලීන ග්ලූකෝමා තත්වයක් නොවේ.Close angle ග්ලූකෝමා තත්වයේදී ආරම්භයේ සිටම රෝගී ලක්ෂණ හොදින් රෝගියාට දැනීම සිදුවේ.


ඊලඟ ලිපියෙන් නැවත හමුවෙමු................


D.H.S.L

ලිපියේ පහළින් ඇති මෙම ලිපියේ ගුණාත්මකභාවය ප්‍රතිශතයක් (%) වශයෙන් සටහන් කළ හැකි තීරුවේ ඔබේ මනාපය පළකිරීමට කාරුණික වන්න.

Facebook ඔස්සේ " දිනපොත - Dairy " පිටුව සමග ඔබට මෙතනින් එකතුවිය හැකිය.

❋❋❋❋❋❋❋❋❋❋❋❋❋❋

No comments:

Post a Comment

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...