Wednesday 26 September 2018

එකොළොස් වැනි දිගහැරුම (#11)

බෝවන අක්ෂි රෝගය (ඇස් ලෙඩ) සහ ඇස් කැසීම (අක්ෂි ආසාත්මිකතාවයන් )
✻✻✻✻✻✻✻✻✻✻✻✻✻✻✻✻✻

මෙලෙස බෝවන අක්ෂි රෝගයක් සෑදුනු පසුව එමගින් තමන්ට දැනෙන අපහසුතාවය කුඩා වුවත් එය සදහා ඔබ වෛද්‍යවරෙක් හමුවිය යුතුය.ඊට හේතුව වන්නේ ,අක්ෂි ප්‍රදාහය මගින් අතුරු ආබාධ ඇති නොකලත් දීර්ඝකාලීන අක්ෂි රෝගය මගින් ඇසට අතුරු ආබාධ ඇතිකළ හැකිය.

(මෙම මාතෘකාවට අදාළ මුල් කොටස පෙර ලිපිය වූ දසවෙනි ලිපියේ (#10) ඇත.මෙම ලිපිය අවසානයේ එයට අදාල LINK එක ඇත.)

මෙම දීර්ඝකාලීන අක්ෂි රෝගය මගින් සමහර අවස්ථා වලදී අතුරු ආබාධ ඇතිකිරීමට හේතු වන්නේ එම රෝගය සාදන්නේ බැක්ටීරියාවක් (Bacteria ) නිසාය.

බෝවන අක්ෂි ආබාධ (අක්ෂි ප්‍රදාහය හෝ දීර්ඝකාලීන අක්ෂි රෝගය ) මගින් වෛද්‍ය ප්‍රතිකාර නොකිරීමකදී ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳව සලකමු .

1. දීර්ඝකාලීන අක්ෂි රෝගයේ( දීර්ඝකාලීන ඇස් ලෙඩ ) අතුරුප්‍රතිඵලයක් ලෙසට කළුඉංගිරියාව ආශ්‍රිතව සුදු පුල්ලි ඇතිවිය හැකිය.මෙහි ප්‍රතිඵලයක් ලෙසට ඇසේ පෙනීමට බාධා ඇතිවේ.මෙම සුදු පුල්ලි ඉවත් කිරිම සදහා කල්ගත වේ.

2. දීර්ඝකාලීන ඇස් ලෙඩේ තවත් අතුරුප්‍රතිඵලයක් වන්නේ කළුඉංගිරියාව ආශ්‍රිතව කළුළප ඇතිවීමයි.එමගින්ද ඇසේ පෙනීමට බාධා ඇතිකරයි.කල්ගත වී මෙම කළුළප ඉවත් කලත් ඒවා නැවත නැවතත් මතුවිය හැකිය.එමනිසා දීර්ඝකාලීනව ඇස් පෙනීම දෝෂ සහගත වේ.

3. කළුඉංගිරියාව තුවාල වීමක්ද මෙම ඇස් ලෙඩේ අතුරුප්‍රතිඵලයක් ලෙසට සිදුවිය හැකිය.

4. ඇසේ කුනිතය (ස්වච්චය ආශ්‍රිතව ) මත තුවාල ඇතිවීම හෝ එම ඇතිවූ තුවාල වර්ධනයක් වීම.ඇස අන්ධ වීමට ඇති එක්තරා මාර්ගයක් වන්නේ මෙම කුණිතය ආශ්‍රිත තුවාල ඇතිවීමයි.

මෙවැනි අක්ෂි රෝග වලදී වෛද්‍ය නිර්දේෂයකින් තොරව ස්ටෙරොයිඩ අඩංගු ඖෂධ වර්ග නොගත යුතුය .එමගින් ඇසේ පීඩනය ඉහල ගොස් Glucoma රෝගී තත්වයක් බවට මෙය වර්ධනය විය හැකිය.

එක් අවස්ථාවක් මෙවැනි බෝවන අක්ෂි රෝගයක් සෑදුනු පසුව නැවතත් සෑදීමේ ඉඩකඩක් පවතී.

එයට හේතුව වන්නේ මෙවැනි බෝවන අක්ෂි රෝග සෑදීමට එක් ව්‍යාධිජනකයෙකු නොව ව්‍යාධිජනකයින් වර්ග කීපයක් සහභාගී වන බැවිනි.එමනිසා අවශ්‍ය වන්නේ රෝගය සෑදුනු පසු හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතීමයි.

බෝවන අක්ෂි රෝගයක් සෑදුනු පසුව පොතපත පරිහරණය පිළිබඳව කෙනෙකු තුළ ගැටළුවක් පවතී.පොතපත පරිහරණය කිරීමේදී අදාල රෝගියාගේ ඇසට වේදනාවක්,අධික ලෙස කබ හෝ කදුළු ගැලීමක් සිදුනොවේනම් පොතපත පරිහරණය කලාට කිසිදු වෛද්‍යමය ගැටළුවක් නැත.

නමුත් ,මෙහිදී පොදු පොත්පත්,පුස්තකාල පරිහරණය සිදුනොකළ යුතුය .එමගින් වන්නේ රෝගය තවදුරටත් ව්‍යාප්ත කිරීමකි.

බෝවන අක්ෂි රෝග සහ බෝනොවන අක්ෂි රෝග වලට අමතරව ඇස ආශ්‍රිතව පවතින තවත් රෝගී තත්වයක් වන්නේ " ඇස කැසීම සමග ඇසෙන් කදුළු ගැලීමයි ".මෙය Allergic Conjuncitivitis තත්වයක් ලෙසට හදුන්වයි.මෙම තත්වය සම්පූර්ණයෙන්ම ඇතිවන්නේ ආසාත්මිකතාවයක්(Allergic) නිසාය.

මෙවැනි ආසාත්මිකතාවයක් නිසා ඇස කැසීම හා ඇසෙන් කදුළු ඒම තත්වයේ සාමාන්‍ය රෝගී ලක්ෂණ පහත පරිදි වේ .

1. ඇස් කැසීම.

2. ඇසෙන් කදුළු ඒම.

3. ඇස කෙවීම.

4. ඇස රතු වීම හා තරමක් ඇස ඉදිමීම.

5. ඇස තරමක් වේදනාකාරී වීම.

6. ආලෝකය දෙසට බැලීමට නොහැකි වීම.


මෙවැනි ආසාත්මිකතාවයන් හා බෝවන අක්ෂි රෝගය සාමාන්‍යයෙන්,වෛද්‍ය පරීක්ෂණයකින් තොරව හදුනාගත හැකි එකිනෙකට වෙනස් වූ රෝග ලක්ෂණ කීපයක් පවතී .

1. බෝවන අක්ෂි රෝගයේ තරම් ඇසේ වේදනාවක් මෙම ආසාත්මිකතාවයන් හිදී ඇතිනොවේ.

2. ඇසේ කහවන් පැහැයට කබ ගැලීමක් මෙම ආසාත්මිකතාවයන්හිදි සිදු නොවන තරම් වේ.(සුළු වශයෙන් විය හැකි වුවත් එය අධික ලෙසට සිදුනොවේ.)

3. ආසාත්මිකතාවයන් හිදී ඇසෙන් කදුළු ගැලීම සාමාන්‍යයෙන් අධිකව සිදුවිය හැකිය.

මෙවැනි ඇසේ ආසාත්මිකතා ඇතිවීම සදහා බලපාන හේතු රාශියක් පවතී.

1. ගෘහාශ්‍රිතව ඇතිකරන සුරතල් සතුන් මගින්

2. සමහර ආහාර මගින් (මෙය පුද්ගලයා මත රදාපවතී.)

3. දුහුවිල්ල මගින් හා විවිධ ආගන්තුක ද්‍රව්‍ය මගින් (මල් පරාග,දුම්,පුළුන් ආදිය )

4. අක්ෂි ආබාධ සදහා ඇසට යොදන සිවි කාච මගින්

5. අනවශ්‍ය ලෙසට භාවිතා කරන සුවද විලවුන්,රූපලාවණ්‍ය ද්‍රව්‍ය හා සමට භාවිතා කරන සමහර ඖෂධ වර්ග

ඇදුම ,එක්සීමා වැනි රෝගීන් හට මෙවැනි ඇසේ ආසාත්මිකතා සෑදීමේ වැඩි සම්භාවිතාවයක් පවතී.එමනිසා ඔවුන් පෙර කී ඇසේ ආසාත්මිකතාවයන් ඇතිකරන හේතු වලින් හැකිතාක් වැලකිය යුතුය .

මෙවැනි ඇසේ ඇතිවන ආසාත්මිකතාවයන්ගෙන් වැලකිය හැකි ඖෂධ වලට වඩා ඇති හොදම ක්‍රමය වන්නේ රෝගය ඇතිවන හේතු පිළිබඳව ඇති දැනුවත්භාවයයි.

එහිදී පහත ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් මෙවැනි අක්ෂි ආසාත්මිකතාවයන් වලින් වැලැක්විය හැකිය.

• ගෘහාශ්‍රිතව ඇතිකරන බළලුන් , අධික ලෝම සහිත සුනඛයන් නිවස ඇතුලත පවතින ඇදන් මතට,පුටු මතට පැමිණීම වැලැක්වීම.මෙවැනි රෝගී පුද්ගලයින් හැකිතාක් දුරට ඉහත කී ලෝම අධික සතුන් සුරතල් කිරීමෙන් වැලකීම.

• වැඩි වශයෙන් මෙවැනි රෝගීන් ගැවසෙන නිවස ඇතුල,සේවා ස්ථාන හැකිතාක් දුරට දුහුවිලි වලින් තොරව පිරිසිදුව පවත්වා ගැනීම.

• පරාග ,පුළුන් ,දුම වැනි දේවල් වලින් බොහෝ දුරට ඈත්ව වාසය කිරීම .

• විවිධ අක්ෂි ආබාධ සදහා ඇසට යොදන සිවිකාච වල ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් විම.

• සුවද විලවුන් සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතයට පෙර තමන්ගේ ශරීරයට ආසාත්මිකතාවයන් ඇති නොකරන්නේ දැයි සුළු පරීක්ෂණයක් සිදුකිරීම .

බොහෝ දුරට පාසල් ළමුන් අතර මෙම අක්ෂි ආසාත්මිකතාවයන් බහුලව පවතී .එයට ප්‍රධානතම හේතුව වන්නේ ,වැඩිහිටියන්ට වඩා ඔවුන් ක්‍රියාශීලී සහ ක්‍රීඩාසම්පන්න වීම නිසා ඔවුන් බාහිර විවෘත පරිසරය සමග ගැටෙන සම්භාවිතාවය වැඩි වීමයි.

ඉතිරිය ඊලඟ ලිපියෙන්  ❃❃❃❃❃❃❃❃❃❃❃❃

D.H.S.L

දසවෙනි ලිපිය (#10) මෙතනින් බලන්න .

Facebook ඔස්සේ නව ලිපි පරිශීලනය සදහා "දිනපොත - Dairy" පිටුව සමග මෙතනින් සම්බන්ධ වන්න.


"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...