Monday 10 September 2018

සිවුවැනි දිගහැරුම (#4)

අභ්‍යන්තර ස්නායුක ස්ථරයේ අභ්‍යන්තර සිට පිටතට වන්නට මෙම අනුපිළිවෙලට ස්ථර පිහිටයි .

1. ද්වීධ්‍රැව නියුරෝන සෛල ස්ථරය
2. ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල ස්ථරය
3. අපිච්චද සෛල ස්ථරය

දෘෂ්ටිවිතානය පුරා මෙම ස්ථර පැතිරී පවතී .
පහත රූප සටහනට අනුව දෘෂ්ටිවිතානයේ ස්ථර තුන අනුපිළිවෙළින් නිරූපණය වේ.



ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල ස්ථරයේ පිහිටන ප්‍රධාන සෛල වර්ග දෙකක් (02) වේ.

• යෂ්ටි සෛල
• කේතු සෛල

ඇසේ ප්‍රධානතම කාර්යයන් සිදුකරන්නේ මෙම ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල වේ.

යෂ්ටි සෛල තරමක් යෂ්ටි හැඩයෙන් යුක්ත වේ.සාමාන්‍යයෙන් මිලියන 120 ක් පමණ පවතී.එනම් ,කේතු සෛල වලට වඩා 20 ගුණයක් යෂ්ටි සෛල අඩංගු වේ.දෘෂ්ටිවිතානය තුළ සමාකාර ව්‍යාප්තියක් දැරුවත් අන්ධ බිංදුව හා මධ්‍යකූපය තුළ යෂ්ටි සෛල නොපවතී.

යෂ්ටි සෛල අඩු ආලෝක තීව්‍රරතාවයට සංවේදී වන අතර අඩු ආලෝකයේ දී පෙනීම ඇතිකිරීමට දායක වේ.යෂ්ටි සෛල ඇසේ දෘෂ්ටිවිතානයේ කෙළවරට වන්නට තරමක වැඩි සාන්ද්‍රණයකින් යුක්තව පවතී .මෙම යෂ්ටි සෛල වල "රොඩොප්සීන්" නම් දෘෂ්ටි වර්ණකය ඇත .වැඩි ආලෝක තීව්‍රරතාවයේදී මෙම දෘෂ්ටි වර්ණකය ක්‍රියාකාරී නොවේ.

අඩු ආලෝක තීව්‍රරතාවයේදී මෙම යෂ්ටි සෛල මතට ආලෝකය පතිත වීම නිසා එහි ඇති දෘෂ්ටි වර්ණකය විඝටනය වීමනිසා ස්නායු ආවේග ඇතිවේ.මෙම ස්නායු ආවේග ද්වීධ්‍රැව නියුරෝන වල අනුශාඛ්කා වලින් ඇතුළු වී දෘෂ්ටික ස්නායුවට සම්බන්ධ වේ.

කේතු සෛල, තරමක් කේතු හැඩයකින් යුක්ත වේ.යෂ්ටි සෛල වලට වඩා අඩු ප්‍රමාණයක් පවතී.ඇසේ දෘෂ්ටිවිතානයේ පූර්ව දෙසට වන්නට මෙන් පවතී.යෂ්ටි සෛල මෙන්ම අන්ධ බ්ංදුවේ නොපවතී.මධ්‍යකූපය හෙවත් කහලපයේ
100% ක් ම පවතින්නේ මෙම කේතු සෛල වේ.

මෙම පහත රූප සටහනේ පවතින්නේ ඉහතින් දැක්වූ කේතු සහ යෂ්ටි සෛල වල දර්ශීය නිරූපණයක් වේ.

• Rod = යෂ්ටි සෛල
• Cone = කේතු සෛල

ඉහතින් දැක්වූ කරුණු අනුව මෙම සෛල වල හැඩයන් නැවතත් සසදන්න.


කේතු සෛල මගින් ඉටු කරන කෘතයන් 03 කි ,
• වැඩි ආලෝක තීව්‍රරතාවයේදී දෘෂ්ටිය ඇතිකිරීම.

මුලින් සදහන් කල ආකාරයට වැඩි ආලෝක තීව්‍රරතාවයේදී යෂ්ටි සෛල වල වර්ණකය ක්‍රියාකාරී නොවන නිසා,එහිදී ක්‍රියාකාරී වන්නේ කේතු සෛල වල පවතින " පොටොක්සීන් " නම් වර්ණකයයි.

• වර්ණක දෘෂ්ටිය ඇතිකිරීම මගින් වර්ණ හදුනාගැනීමට ක්‍රියාකිරීම.

මෙහි කලින් කියූ ආකාරයට " පොටොක්සීන් " නම් දෘෂ්ටි වර්ණකය ඇත.මෙම වර්ණකයේ වර්ග 03 ක් පවතී.ආලෝකයේ එක් එක් වර්ණ වලට අයත් තරංග ආයාම මගින් මෙම එක් එක් දෘෂ්ටි වර්ණකය උත්තේජනය කරයි.එමගින් වර්ණ හදුනාගැනීමේ සුවිශේෂි වූ කාර්‍යභාරයක් සිදුකරයි.නිල් ,කොළ ,රතු යන වර්ණ වලට අදාළ " පොටොක්සීන් " පවතී.එක් කේතු සෛලයක් තුළ එක් වර්ගයකට අදාළ වර්ණකයක් පවති.මෙම කේතු සෛල මගින් ආලෝකයේ වර්ණ හදුනාගෙන එම වර්ණක ක්‍රියාකාරී වී ස්නායු ආවේග හටගනී.එම ආවේග ද්වීධ්‍රැව නියුරෝන සෛල වල අනුශාඛා වෙතට ගමන් කර එමගින් ස්නායු ආවේග දෘෂ්ටික ස්නායුව ඔස්සේ මොළය වෙතට ගමන් කරයි.

• දෘෂ්ටි තීක්ෂණතාවය ඇතිකිරීම.

තීව්‍රර /හොදින්ම/ පැහැදිලිවම දෘෂ්ටියක් ඇතිකිරීමට දායක වන්නේ මෙම කේතු සෛල වේ.විශාල වූ දෘෂ්ටිවිතානයක් පැවතුනත් ආලෝකය මගින් වස්තුවල ප්‍රතිබිම්බය සෑදෙනු ලබන්නේ මධ්‍යකූපය තුළදී පමණි.එසේ නම් තීව්‍රර දෘෂ්ටි සෑදීමට මෙම මධ්‍යකූපය වගවිය යුතුය .

මුලින්ම සදහන් කළ ආකාරයට මෙම මධ්‍යකූපය තුළ ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල වශයෙන් පවතින්නේ කේතු සෛල පමණි .එනම් ,100% ක්ම දෘෂ්ටික තීක්ෂණතාවය සදහා බලපාන්නේ මෙම කේතු සෛල වේ.

අවසාන ස්ථරය වන්නේ,අපිච්චද සෛල ස්ථරයයි.ඒ පිළිබඳව තුන්වන ලිපියේදී කරුණු සාකච්ඡා කර ඇත .

ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල වල වර්ණක වල වෙනස් වීම් වලින් සෑදුනු ස්නායු ආවේග ද්වීධ්‍රැව ස්නායු සෛල වල අනුශාඛා තුලට ලබාදේ .ඉන්පසු එම ආවේග ද්වීධ්‍රැව ස්නායු සෛල වල අක්සන තුළ ට ඇතුළු වේ.මෙම අක්සන මගින් දෘෂ්ටික ස්නායුව සෑදී,එම දෘෂ්ටික ස්නායුව ඔස්සේ ස්නායු ආවේග මොළය කරා ගමන් කරවයි.

දෘෂ්ටිවිතානය මත පවතින විවිධ ස්ථර වල පැවැත්ම පහත රූපයේ පවතී.ආලෝකය හමුවේ එම සෛල වල ස්නායු ආවේග ඇතිවී දෘෂ්ටික ස්නායුව ඔස්සේ මොළය කරා ගෙන ආකාරය මේ ආකාරයට කෙටියෙන් විග්‍රහ කරමු.





ආලෝකය ( Light ) ඊතලයෙන් දක්වා ඇති ආකාරයට ඇස තුලට ඇතුළු වේ.රතු වර්ණයෙන් යෂ්ටි සෛල / Rod (හැඩය බලන්න ) හා කොළ පැහැයෙන් කේතු සෛල / Cone ( හැඩය බලන්න ) පවතී.ආලෝකය මගින් ඒවායේ පවතින වර්ණක ක්‍රියාකාරී වී හටගන්නාවූ විභව වෙනසින් හටගන්නාවූ ස්නායු ආවේග නිල් වර්ණයෙන් දැක්වෙන ද්වීධ්‍රැව නියුරෝන සෛල / Bipolar cells වල ආරම්භක අනුශාඛා තුළින් ඇතුළු වී එහි අක්සනයෙන් ද්විෂ්ටික ස්නායුව සාදයි .මෙය තුළින් ස්නායු අවේග මොළය කරා ගමන් කරයි.

ඇස තුළ සිදුවන දෘෂ්ටියේ යාන්ත්‍රිණය ඉහත ආකාරයට විස්තර කල හැකි අතර ,සමහර අවස්ථා වලදී ඇසෙහි මෙම යාන්ත්‍රිණය අඩාල වන අවස්ථා පවතී .මෙවැනි තත්ව අක්ෂි ආබාධ ලෙසට හදුන්වයි.එවැනි අක්ෂි ආබාධ කිහිපයකට පිළිබඳව සලකමු ,



1. අවිදුර දෘෂ්ටිකත්වය 

2. විදුර දෘෂ්ටිකත්වය 
3. විෂම දෘෂ්ටිකත්වය 
4. ඇසේ සුද ඇතිවීම
5. හතලිස් ඇදිරිය


අවිදුර දෘෂ්ටිකත්වය පිළිබඳව ඇති සරලතම හැදින්වීම නම්,ලග පෙනීම සහ දුර නොපෙනීමයි.එනම් ,ඇසේ සිට විශද දෘෂ්ටියේ අවම දුර වූ 25 cm ඇති වස්තුවක් පෙනෙන අතර ඇසේ සිට 6 m තරම් දුරින් ඇති වස්තුවක් නොපෙනීම හෝ අපැහැදිලි වීම සිදුවේ.


එහිදී ,අනන්තයේ සිට පැමිණෙන ආලෝක කිරණයක ප්‍රතිබිම්බයක් දෘෂ්ටිවිතානයේ මධ්‍යකූපය මත ඇතිකිරීමට නොහැකි වේ.


මේ සදහා අවතල කාච සහිත උපැස් යුවල හෝ තමන්ගේ කැමැත්ත අනුව ඇසට ස්පර්ශක කාච යොදාගැනීම කළ හැකිය.

මෙම අවිදුර දෘෂ්ටිකත්වයට ප්‍රධාන හේතු 02 ක් පවතී,


•දෘෂ්ටිවිතානයේ මධ්‍යකූපයේ ආලෝකයේ ප්‍රතිබිම්බය ඇතිනොවී,එයට මෙහායින් එනම් ඇස තුලට වන්නට ප්‍රතිබිම්බය හටගැනීම. 

අක්ෂි කාචයේ සහ ප්‍රතියෝජක දේහයේ වෙනස්කම් නිසා මෙය සිදුවේ.සාමාන්‍යයෙන් වස්තුව ඇති දුර අනුව අක්ෂි කාචයේ හැඩය වෙනස්කර ගනිමින් එහි නාභීය දුර වෙනස් වී සුදුසු වස්තු දුරට අනුව අවශ්‍ය තැන ප්‍රතිබිම්බය සෑදීමේ හැකියාවක් අක්ෂි කාචයට හා ප්‍රතියෝජක දේහයට පැවතිය යුතුය .නමුත් ,එසේ කිරීමට අපහසු වූ කල මෙවැනි අක්ෂි රෝග ඇතිවේ.

• ඇසෙහි විෂ්කම්භය වැඩිවීම.

මෙම තත්වය උපතින්ම ඇතිවන බලපෑමකි.එනම් ,අක්ෂි කාචයේ නාභීය දුරට ගැලපෙන පරිදි ඇතිකරන ප්‍රතිබිම්බයේ දුර කාචය හා දෘෂ්ටිවිතානය දක්වා ඇති දුරට වඩා අඩු වීමයි.


අවතල කාචයක් මගින් ආලෝක කිරණ අපසරණ කරන බැවින් (ආලෝක කිරණ විහිදුවයි ) වස්තුවේ ප්‍රතිබිම්බය ඇතිවීම තරමක් දෘෂ්ටිවිතානය දෙසට යොමුකරයි.එම නිසා වෛද්‍ය උපදේශ අනුව මෙම අවතල කාච හෝ ඇසට ස්ඵර්ශක කාච පැලදීම මගින් මෙම දෘෂ්ටි දෝෂය මගහරවා ගතහැකිය.



ඊලඟ ලිපියෙන් නැවත හමුවෙමු .............

D.H.S.L

ලිපියේ පහළින් ඇති මෙම ලිපියේ ගුණාත්මකභාවය ප්‍රතිශතයක් වශයෙන් සටහන් කළ හැකි තීරුවේ ඔබේ මනාපය පළකිරීමට කාරුණික වන්න.



Facebook ඔස්සේ " දිනපොත - Dairy " පිටුව             ( Page ) සමග මෙතනින් එකතු වී නවතම ලිපි රසවිදින්න.


No comments:

Post a Comment

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...