Sunday 14 October 2018

ආතරයිටීස් - (01)

ආතරයිටීස් රෝගය හැදින්වීම සහ ඒ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පිළියම්........... (01)
❆❆❆❆❆❆❆❆❆❆❆❆❆❆

අපි නගාසිටින්නේ,අපි දරාසිටින්නේ අපගේ අස්ථි සැකිල්ල මතය.අස්ථි සැකිල්ලට වනු ලබන හානි සහ රෝගී තත්වයන් මත අපගේ එදිනෙදා ජීවිතයේ කාර්‍යක්ෂම බව හා සාර්ථක බව නිතැතින්ම තීරණය වේ .ඔබට කොන්දේ කැක්කුමක් සෑදුනු දිනයක් ගැන මදක් සිතා බලන්න ,එදින ඔබගේ කාර්‍යක්ෂමතාවය කෙසේවීද................

ආතරයිටීස් රෝගය යනු ඔබට එලෙස වැලදුනු කොන්දේ කැක්කුම මෙන් සුළුපටු අවස්ථාවක් නොවේ.එය සමස්ත අස්ථි සැකිල්ල මතටම බලපෑම් ඇතිකරයි.ආතරයිටීස් රෝගයේ අවසාන ඵලය වන්නේ සමස්ත අස්ථි සැකිල්ලම විකෘති වීමයි.එය කෙසේදයත්, දොරක අගුලක් විවෘත කිරීමට නොහැකි තත්වයට ඔබේ අස්ථි සැකිල්ල දුර්වල වේ.


මෙම රූපයේ දක්වා ඇත්තේ ඔස්ටියෝආතරයිටීස් රෝගය නිසා අතක ඇගිලි පුරුක් වල සිදුවූ විකෘතියකි.

බටහිර වෛද්‍ය විද්‍යාත්මකව මෙම රෝගය නිට්ටාවටම සුවකිරීම සදහා ප්‍රථිකාර නොපවතින අතර රෝග කළමණාකරනය සදහා පමණක් ප්‍රථිකාර පවතී .එය වේදනා නාශක වලින් ආරම්භ වන අතර ඖෂධ එන්නත් කිරීම් ඔස්සේ අදාල රෝගී සන්ධියේ ශල්‍යකර්මයන් සිදුකිරීම දක්වා පැතිරුනු රෝග කලමණාකරනයක් සිදුකරයි.

වේදනා නාශක මගින් වකුගඩු වලට හානිකර බලපෑම් ඇතිකර්‍යි.එම හේතුව නිසා ආතරයිටීස් සදහා ප්‍රථිකාර කරන බටහිර වෛද්‍යවරුන් රෝගීන්ගේ වකුගඩු සම්බන්ධයෙන් නිසි අවධානයෙන් පසුවෙයි.එමෙන්ම ,භෞත චිකිත්සක ප්‍රථිකාර මෙම රෝගී තත්වය සදහා සුදුසු වන අතර ,එමගින් සන්ධි ආශ්‍රිත මාංශ පේශි හා සන්ධියේ චලනයන් පහසු කිරීමට දායක වේ.

ලොව පුරා ආතරයිටීස් රෝග ආකාරය විශාල සංඛ්‍යාවක් පවතී.මේවා අතුරින් ශ්‍රී ලංකාව තුළ වඩාත් පුළුල් ලෙසට ව්‍යාප්ත වූ ආතරයිටීස් ප්‍රභේද දෙකක් පවතී .

1. රුමැටොයිඩ් ආතරයිටීස්

2. ඔස්ටියෝආතරයිටීස්

සාමාන්‍යයෙන් සිංහලෙන් බොහෝ දෙනා "හන්දිපත් රුදාව" කියලා හදුන්වන්නේ මෙම ආතරයිටීස් රෝගී තත්වයයි.ආතරයිටීස් යනු ලතින් භාෂාවේ වචනයක් වන අතර එහි අර්ථය වන්නේ " සන්ධි ප්‍රදාහය " යන්නයි.මෙම ආතරයිටීස් රෝගය සෑදීම සදහා නිශ්චිත වයසක් නොමැති අතර නමුත් තරමක් අවධානම් වයස් කාණ්ඩ පවතී .

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ,ආතරයිටීස් රෝගය "ආමවාතය" ලෙසට හදුන්වයි .තුන්දොස් වලින් පිත සහ වාතය කිපීම මගින් මෙවැනි රෝගී තත්වයක් ඇතිවේ.

"ආමය" යනු රස ධාතුවේ ඇති විදග්ධ ස්වාභාවයයි.එනම්,ආමාශයේ ඇති රස ධාතුවේ බර ගතියයි,නොපැසවූ ස්වාභාවයයි .

එනම් ආහාරයේ ඇඹුල් ගැසී ආමාශය තුළ නරක් වූ ස්වාභාවයයි .මෙම ආමය රක්ත ධාතුව සමග මිශ්‍රව ශරීරය පුරා වාතය ඔස්සේ සංසරණය වේ .මෙම ආමය මුසු වූ විෂ ස්වාභාවය ශරීරයේ සමහර සන්ධි වල එක්‍ රැස් වීමක් සිදුවේ.එමගින්,එම සන්ධි පීඩාවට හා ප්‍රදාහයට ලක් කරයි.

මෙම ආහාර මගින් ආමාශයේ සෑදෙන විෂ සහිත " ආමය " ගැස්ට්‍රයිටිස් රෝගය සදහාත් මූලික හේතුව වේ.එමනිසා,ගැස්ට්‍රයිටිස් රෝගය සෑදී ඇති සමහර පුද්ගලයින් සදහා දෙවනුව මෙම ආතරයිටීස් / ආමවාත රෝගය සෑදීමේ අවදානමක් පවතී.

සන්ධියක් යනු,අස්ථි දෙකක් එකිනෙක සම්බන්ධ වන ස්ථානයක් වේ.මෙම සන්ධියක් ආශ්‍රිතව පේශි,කණ්ඩරා,කාටිලේජ ආදිය පවතී.අස්ථි දෙකක් අතර කාටිලේජ පටකයක් පැවතීම නිසා අප සිදුකරන එදිනෙදා ක්‍රියාකාරකම් වලදී අස්ථි මගින් එකිනෙක ඇතිවන ගැටීම් වලක්වා,අස්ථි මත ඇතිවන කම්පනය මැඩලීමට ක්‍රියාකරයි.මෙම අස්ථි අතර කාටිලේජ පටකය නොතිබිණි නම් අස්ථි එකිනෙක ඝට්ටනයට ලක්වීම සිදුවේ


මෙම රූප සටහනේ පවතින්නේ නීරෝගී දණහිස් සන්ධියක් වේ.ඉහල සහ පහළ අස්ථි දෙක අතර පවතින කාටිලේජ පටකය මෙමගින් නිරූපණය වේ.

ආතරයිටීස් රෝගය සදහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ මෙම අස්ථි දෙකක් අතර පවතින කාටිලේජ වල විවිධ අසාමාන්‍යතාවයන් වේ.

ලිපියේ දීර්ඝ බව වැලැක්වීම සදහා මෙම ලිපියේ දී රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය පිළිබඳව පමණක් අවධානය යොමුකරමු.

ආතරයිටීස් (02) ලිපියෙන් ඔස්ටියෝආතරයිටීස් රෝගය පිළිබඳව තොරතුරු පසුව සාකච්ඡා වේ.

රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය සෑදෙන්නේ දේහයේ ප්‍රතිශක්තීකරණය සම්බන්ධ ක්‍රියාවලියක් නිසාය.මෙහිදී අස්ථි පද්ධතියේ සන්ධි තුළ පවතින කාටිලේජ වල අසාමාන්‍යතාවයක් නිසා දේහ ප්‍රතිශක්තීකරණයට අදාල ප්‍රතිදේහ මගින් කාටිලේජ පටකය විනාශ කරයි.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 16 ට වඩා අඩු ළමුන් අතර මෙම රෝගය බහුල වන අතර වැඩිහිටි පුද්ගලයින්ද මෙම රෝගයට භාජනය වේ.

රුමැටොයිඩ් ආතරයිටීස් රෝගී තත්වය දණහිස් සන්ධිය,වැලමිට සන්ධිය,මැණික් කටු සන්ධිය වැනි සන්ධි වලින් ආරමභ වී උකුල් සන්ධිය , උර සන්ධිය ,ඇගිලි පුරුක් හා කශේරුකා දක්වාම ව්‍යාප්ත වේ.මෙහිදී විශේෂයෙන් සෙම්ගෙඩි ප්‍රධාහය සහ උණ ඇතිවීමක් සිදුවේ.මෙය සාමාන්‍යයෙන් "රුමැටික් උණ" ලෙසට හදුන්වයි .

රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය සදහා බලපාන ප්‍රධාන හේතුව වන්නේ ශරීරයේ පෝෂණ ඌණතාවයන් වේ.

අස්ථි අතර පවතින කාටිලේජ පටක වලට අවශ්‍ය පෝෂණයන් නොලැබෙන විට අදාල පටක මියයාම සිදුවේ.එහිදී අළුතින් කාටිලේජ පටක සෑදීමක් සිදුකරනු ලබන්නේ,අක්මාව මගිනි.අක්මාවට ඒ සදහා අවශ්‍ය පෝෂක නොලැබී යාම නිසා,අක්මාව මගින් අළුතින් පටක සෑදීමක්ද සිදුනොවේ. එමනිසා, මෙම මිය ගිය පටක ප්‍රතිදේහ මගින් භක්ෂණය කරයි.එහිදී සන්ධිය තුළ දී විවිධ රසායනික ප්‍රතික්‍රියා රාශියක් සිදුවේ.

මෙම ක්‍රියාවලිය නිසා අස්ථි අතර පවතින කාටිලේජ පටකය අළුතින් නොසෑදීම සහ පවතින පටකය මිය යාම නිසා කම්පන අවස්ථා වලදී අස්ථි එකිනෙක ගැටීම නිසා සන්ධි චලනය කල නොහැකි තත්වයට පත්වේ.එම හේතුව නිසා මෙම රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය පහසුවෙන් හදුනාගැනීම සදහා ඊටම ලාක්ෂණික රෝග ලක්ෂණ පවතී .

• එම රෝගී තත්වය පවතින සන්ධිය චලිනය කිරීමේදී අධික වේදනාවක් හටගැනීම.

සන්ධියේ අස්ථි අතර පවතින කාටිලේජ පටකය නොමැති වීම නිසා සන්ධිය චලනයේදී අස්ථි එකිනෙක ගැටීමක් වේ.එමනිසා,මෙම තත්වය හටගනී.

• සන්ධිය අනවශ්‍ය ලෙසට ඉදිමීමකට ලක්වීම.

සන්ධිය අසල ප්‍රතිදේහ මගින් සිදුකරන ක්‍රියාවලීන් නිසා සන්ධියෙන් ඝ්‍රාවය වන අධික තරලය නිසා ඉදිමුම් ස්වරූපයක් ගනී.

• සන්ධිය අසල රතු වීමක් සහ එහි උෂ්ණත්වය ඉහල යාමක් පැවතීම.

• සන්ධිය අසල බර ගතියක් පැවතීම.

• ඇගපත වේදනාව සහ විඩාව.

• දේහ උෂ්ණත්වය ඉහල ගොස් උණ ඇතිවීම.

මෙය රුමැටික් උණ ලෙසට හදුන්වයි.

• ආහාර අරුචිය .

• උගුරේ සහ ඇස් වල වේදනාව හා ඒවායේ වියළි ගතියක් ඇතිවීම.

රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය හට ගැනීම සහ එය වැලදී පවතින කාලය පුද්ගලයා මත වෙනස් විය හැකිය.සමහර අයෙකුට මෙම රෝගය සෑදී සුව වී නැවතත් පසු කලකින් සෑදිය හැකිය .එම කාල පරතරය සතියක් , මාසයක්, වසරක් හෝ වසර කීපයක් වුවත් විය හැකිය.

රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය දීර්ඝකාලීනව පැවතීම හෝ නිශ්චිත වෛද්‍ය උපදෙස් පිලිනොපැදීම නිසා විවිධ අතුරුප්‍රතිඵල වලට බදුන් විය හැකිය.

1. හෘදයේ කපාට ආශ්‍රිත විවිධ සංකූලතාවයන් ඇතිවීම.

2. මුලින් සාමාන්‍යයෙන් විශාල සන්ධියකින් මෙම රෝගය ආරම්භ වී පසුව සමස්ත ශරීරයේ සෑම සන්ධියක් ආශ්‍රිතවම රෝගය ව්‍යාප්ත වීම.

3. දීර්ඝකාලීන රෝගී තත්ව හමුවේ සන්ධි ව්කෘති වීම.

4. සන්ධි චලනය කරන විටදී එය වේදනාකාරී වීම නිසා සන්ධි චලනය සිදු නොකරන විටදි සන්ධි ආශ්‍රිත මාංශ පේශි , කණ්ඩරා හා බන්ධනී වල ක්‍රියාකාරීත්වය දුර්වල වී තවදුරටත් සන්ධි ආශ්‍රිත තද බව වැඩි වීම හා ඉදිමුම වැඩි වීම.

5. අක්ෂි ගෝලයේ ආසාත්මිකතාවයන් ඇතිකල හැකිය .

රුමැටොයිඩ් ආතරයිටීස් රෝගය සෑදීම සදහා ප්‍රධාන හේතුව වන්නේ,ශරීරයේ ඇති වන පෝෂණ ඌණතාවයන් වේ.ඊට අමතරව තවත් ශේෂ හේතූන් පවතී.

• ක්ෂණික හා රසකාරක අධිකව යෙදූ ආහාර භාවිතය.

මෙමගින් රෝග නිධානය වන "ආමය" ඇතිවීම තවදුරටත් වැඩි වීම සිදුවේ.

• නිසියාකාර ව්‍යායාම් වලින් තොර අලස ජීවිතයක් ගතකිරීම .

• වැරදි ඉරියව් සදහා පුරුදු වීම.

• ආහාර අරුචිය නිසා නිසි පෝෂණයක් නොමැති වීම.

• අධික වශයෙන් තෙල් වලින් බදින ලද මස් වර්ග සහ වෙනත් ආහාර වර්ග අනුභවය .

• යීස්ට් යොදා දීර්ඝ වේලාවක් පිපෙන්නට තිබූ ආහාර අනුභවය .

• ශීත දේශගුණික තත්වයන්.

මෙම රෝගය ශීත දේශගුණ අවස්ථා වලදී උත්සන්න වේ.සමහර රෝගීන් සදහා වර්ෂා කාලයේදී රෝගය උත්සන්න වන අතර වර්ෂාව අඩු වීමත් සමග රෝගී තත්වයේ අඩු වීමක් ඇතිවේ.

මෙම රෝගය සදහා නිසි වයස් පරතරයක් නොමැති නිසා ඔබට ඉහත දැක්වූ ආකාරයට රෝග ලක්ෂණ පවතීනම් ඉක්මනින් වෛද්‍ය ප්‍රථිකාර ලබාගැනීම සුදුසු වේ.ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුලදී රෝගය නිට්ටාවටම සුව කිරීම සදහා ඖෂධ පවතී.

එහිදී රෝගියාගේ අභ්‍යන්තරව මෙන්ම බාහිරවද ප්‍රතිකාර කරනු ලැබේ.අභ්‍යන්තරව ක්ෂාය සහ වෙනත් ඖෂධ වර්ගද බාහිර ප්‍රථිකාර ලෙසට තෙල්,තැවිලි,පත්තු ලේප හා මැල්ලුම් ද රෝගී නිරීක්ෂණයෙන් පසුව අවස්ථානෝචිතව වෛද්‍යවරයා නිර්දේශ කරයි.

මීට අමතරව ,

• මෙම රෝගී තත්වය සදහා ඇල් දිය භාවිතය සම්පූර්ණයෙන්ම නුසුදුසු වේ.

• කාලගුණය පිළිබඳව රෝගියා මනා සැලකිලිමත් බවක් දැක්විය යුතුය .

සාමාන්‍යයෙන් වර්ෂා කාලයේදි රෝගී තත්වය උත්සන්න වන අතර වර්ෂාව අවසන් වීම සමග රෝගී තත්වය තරමක් සුවවේ.එහිදී ,රෝගියා ප්‍රතිකාර ලබාගැනීම වෛද්‍ය නිර්දේශයෙන් තොරව අවසන් නොකල යුතුය .

• සුදුසු ආහාර ලෙසට සුදුළූණු , කොල්ලු, සාරණ, නිවිති , බීට් රූට්, වැටකොළු , කරපිංචා , පළා වර්ග , වට්ටක්කා, මුං ඇට, හීනටි හාල් සහ ඇල් සහල් ගුණාත්මක වේ.

• කෝපි සහ තේ අනවශ්‍ය ලෙසට පානය නොකල යුතුය .

• මත්පැන් හා දුම් පානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුය .

• අධික මානසක ආතතියෙන් මිදීම කල යුතුය .

• රාත්‍රියට නිදි වැරීම සහ දහවලදී අනවශ්‍ය ලෙසට නිදාගැනීම අහිතකර වේ.

• අධික වෙහෙසකර රැකියාවන් හෝ කාර්‍යන් නොකල යුතු අතර දිනකට වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ව්‍යායාම අනිවාර්යයෙන්ම සිදුකල යුතුය .

සන්ධි හා ඒ ආශ්‍රිතව ඇති අස්ථීන් විකෘති විම වැලැක්වීම ව්‍යායාම මගින් සිදුවේ.

• ශරීරයේ බර හැකිතාක් අඩුකරගන්න .

මෙය රෝගය සුවවීම සදහා අවශ්‍ය ප්‍රථිකාර ක්‍රමයක් නොවූවත් මින් සිදුකරන්නේ සන්ධි මත ඇතිවන පීඩනය අඩු කර ගනිමින් සන්ධි චලනයේදී රෝගියාට ඇතිවන වේදනාව අඩු කිරීමයි.

• තිරිඟු ,තක්කාලි ,මිරිස්, වම්බටු, අල වැනි එලවළු වර්ග ද,ගැඹුරු තෙලේ බදින ලද ආහාර වර්ගද, ක්ෂණික බීම වර්ගද පානයෙන් වලකින්න.

ඔස්ටියෝආතරයිටීස් රෝගය හා එයට අදාල ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම සමග ආතරයිටීස් (02) ලිපියෙන් නැවත හමුවෙමු.................

D.H.S.L

ලිපියේ ගුණාත්මකභාවය පිළිබඳව ඔබගේ මතය ලිපියට පහළින් ඇති " ලිපියට ලබා දෙන ලකුණු " තීරුවේ මනාපයක් ( ✔) ලෙසට පළකරන්න .



Facebook සමාජ ජාල මාධ්‍ය ඔස්සේ "දිනපොත" පිටුව සමග මෙතනින් ( ✱✱✱✱✱✱  )එකතු වී නවතම ලිපි පරිශීලනය කරන්න .

✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

Sunday 7 October 2018

සුද යාම / ශ්වේත ප්‍රදරය

සුද යාම හෙවත් ශ්වේත ප්‍රදරය පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක මතය
❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁

වර්තමාන කාර්‍යබහුල සමාජය තුළ පිම්මේ දිවීමට ඕනෑම කෙනෙක් හට සිදුවේ .එය සදහා ලිංග භේදයක් නොමැත.සමහර රෝග මගින් එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් සදහා බාධාවන් ඇතිවේ.වෛද්‍ය විද්‍යාවේ සැබෑ අර්ථය වන්නේ ,මෙම බාධාවන් වලින් රෝගීන් මුදාගෙන ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය වඩා සැපවත් කිරීමයි.

ලිංගික වශයෙන් පරිණත වූ (එනම් ද්වීතියික ලිංගික ලක්ෂණ ඇති වූ දා පටන්) කාන්තාවන් බොහෝ දෙනෙකු මුහුණ දෙන කාන්තා රෝගයක් ලෙසට " ශ්වේත ප්‍රදරය / සුද යාම" හැදින්විය හැකිය .සමහර කෙනෙකු මෙය රෝගයක් ලෙසට නොසලකා සාමාන්‍ය තත්වයක් ලෙසට හැදින්වූවත් ,මෙම රෝගය සමහර අවස්ථා වලදී තවත් රෝග රාශියකට මූලාරම්භය විය හැකිය.

ලිපිය පරිශීලනය කරන අයගේ තේරුම් ගැනීමේ පහසුව තකා සුද යාම සදහා බටහිර වෛද්‍ය විද්‍යාවේදී හේතු වශයෙන් දක්වන කරුණු ද මෙහි අන්තර්ගත කර ඇත.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙම රෝගයට ප්‍රථිකාර කළ විටදී බොහෝ රෝගීන්ට ඖෂධ ලබාගන්නා තෙක් රෝගය සුව වුවත් ඖෂධ ලබාගැනීම නතර කල පසු එය නැවතත් ඉස්මතු විමක් සිදුවේ.නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙය නිට්ටාවටම සුවකල හැකි රෝගී තත්වයක් වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ශේවේත ප්‍රදර රෝගය "කාන්තා රෝග" සමග සමපාත කිරීමට හැකිය.මෙය මූලික වශයෙන් ස්ත්‍රී ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයක් වේ.සෙම සහ පිත යන ද්වීදෝෂ කෝපවීම නිසා මෙම තත්වය ඇතිවේ.

ඩිම්බ මෝචනය වීම,ගැබ් ගැනීම,ඔපස් චක්‍රය සිදුවීම වැනි කරුණු නිසා සාමාන්‍යයෙන් යෝනි මාර්ගය ආශ්‍රිතව තෙත් වී සුළු ඝ්‍රාවයක් පැවතීම සාමාන්‍ය වේ.එමගින් ස්ත්‍රී ලිංගික පද්ධතිය සදහා අයහපතක් සිදු නොකරයි .නමුත් සුද යාම තත්වයේදී මෙම තත්වයට වඩා සැබවින්ම වෙනස් වූ තත්වයක් ඇති කරයි.


ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව යෝනි මාර්ගය තුලින් පිටවන ඝ්‍රාවයේ වර්ණය අනුව ප්‍රදර රෝග අවස්ථා දෙකක් පවතී.

1. ශ්වේත ප්‍රදරය

2. රක්ත ප්‍රදරය

සාමාන්‍ය මුල් අවස්ථාවේදී ශ්වේත ප්‍රදර රෝගී ලක්ෂණ පිළිබඳව සලකා බලමු .

• යෝනි මාර්ගය තුලින් අධික වශයෙන් තරමක් උකු ස්වාභාවයෙන් යුතු ඝ්‍රාවයක් අධික වශයෙන් පිටවීම.මෙය සුදු පැහැය ,කහ පැහැය,රතට හුරු කහ පැහැය ලෙසට විවිධ පැහැයන්ගෙන් යුක්ත විය හැකිය.

සමහර කාන්තාවන්ගේ මෙය සුදු පැහැති කුඩා කැබලි / පොල් කුඩු වශයෙන් යෝනි මාර්ගය තුළින් ඉවත් වී ඒ ආශ්‍රිතව ඇසිරී පැවතිය හැකිය.

සාමාන්‍යයෙන් ස්ත්‍රී යෝනි මාර්ගය අසල ඒ ආශ්‍රිත ඝ්‍රාවි ග්‍රන්ථි මගින් නිපදවන ඝ්‍රාවයන් මගින් තරමක තෙත් බවක් ඇතිවීම සිදුවේ .නමුත් එහිදී අධික ඝ්‍රාවයක් දිගු කාලීනව වැගිරීමක් සිදු නොවේ.

• එම වැගිරෙන ඝ්‍රාවය ගන්ධයකින් යුක්ත වේ.

සාමාන්‍යයෙන් යෝනි මාර්ගයෙන් නීරෝගී කාන්තාවකගෙන් නිකුත් වන ඝ්‍රාවය මෙලෙස ගන්ධයක් ඇති නොකරයි.

• මෙම ඝ්‍රාවය වැගිරෙන අවස්ථාවන් වලදී යෝනි මාර්ගය ආශ්‍රිතව කැසීමක් , ඉකිලි ආශ්‍රිතව කැසීමක් ඇතිවිය හැකිය.ඒ ආශ්‍රිතව පලු දැමිමක් සිදුවීම.

• මුත්‍රා කිරීමේ අපහසුතාවය හා මුත්‍රා දැව්ල්ල.

• හිසරදය,ඇගපත රිදීම,කොන්දේ පහළ කොටසේ වේදනාව.

• අධික නිදිමත ස්වාභාවය .

• ලිංගේන්ද්‍රය ආශ්‍රිතව රතුවීම හෝ ඉදිමීම.

• යෝනිය ආශ්‍රිතව තුවාල ඇතිවීම.

• ශරීරයේ බර අඩු වීම.

• ආහාර අරුචිය හා මලබද්ධය ඇතිවීම.

• ශරීරයේ දැවිල්ලක් ඇතිවීම.

මෙම රෝගී ලක්ෂණ වලින් සමහර රෝගී ලක්ෂණ වෙනත් රෝග සදහාද පෙන්නුම් කරනු ලබන රෝගී ලක්ෂණ නිසා ඔබ සුද යාම ලෙසින් හදුනාගන්නා රෝගය වෙනත් රෝගයක් විය හැකිය.එමනිසා ,අනිවාර්‍යයෙන්ම ආයුර්වේද වෛද්‍ය හෝ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

සුද යාම රෝගය සදහා බටහිර වෛද්‍ය විද්‍යාවේදී හේතු ලෙසට ප්‍රධාන වශයෙන් සදහන් කරන්නේ දිලීර ආසාදනයන් වේ.

යෝනි මාර්ගය තුල එය තුලට ඇතුළු වන ව්‍යාධිජනකයින් මගින් ආරක්ෂා වීමට සහ එහි තෙත් භාවය ඇතිකිරීම විවිධ ක්ෂුද්‍රජීවීන් වාසය කරයි.Lactobacillus ,Yeast මෙවැනි ක්ෂුද්‍රජීවීන් සදහා උදාහරණ ලෙසට දැක්විය හැකිය .

සාමාන්‍ය නීරෝගී ලිංගේන්ද්‍රයක් තුළ මෙම ක්ෂුද්‍රජීවීන්ගේ නිසි සමතුලිතතාවයක් පවතී.නමුත් ,එක් ක්ෂුද්‍රජීවී විශේෂයක් බහුල වශයෙන් වර්ධනය වීම නිසා මෙම ක්ෂුද්‍රජීවී ව්‍යාප්තියේ සමබරතාවය ගිලිහී දිලීර ආසාදන තත්වයක් යෝනිමාර්ගය ආශ්‍රිතව ඇතිවේ.මෙම තත්වයේ ප්‍රථිඵලයක් ලෙසට සුද යාම සිදුවේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගය සදහා පැතිරුනු පරාසයක් තුළ රෝගය සෑදීමේ හේතු ඇත.එහිදී අදාල රෝග ලක්ෂණය නොව රෝග නිධානය හදුනාගෙන එයට ප්‍රථිකාර කිරීම මගින් රෝගය නිට්ටාවටම සුවකළ හැකිය.

එම හේතු පිළිබඳව සලකමු .

• ශරීරයේ පිත කෝපවීම මගින් මෙම රෝගී තත්වය ඇතිවේ,එයට ප්‍රධාන හේතුව වන්නේ ,උෂ්ණ අධික ආහාර වර්ග අනුභවයයි.

උෂ්ණ අධික ආහාර වර්ග ලෙසට අන්නාසි,අමු අඹ,ඇඹරැල්ලා ,බිලිං ,තක්කාලි ,බලකරවල, අච්චාරු මෙන්ම වර්තමානයේදී භාවිතා කරන සියළුම ක්ෂණික ආහාර වර්ග හා කෘතීම රසකාරක(මොනො සෝඩියම් ග්ලූටොමේට් ආදිය) යෙදූ ආහාර වර්ග හැදින්විය හැකිය.

• සනීපාරක්ෂක පුරුදු පිළිබඳව අඩුඅවධානය

කාන්තාවන් සාමාන්‍යයෙන් ඔපස් වීමට බදුන් වීම හා යෝනිමාර්ගය ආශ්‍රිතව විවිධ ඝ්‍රාවීයන් ඇතිවන නිසා සනීපාරක්ෂාව සදහා ප්‍රමුඛත්වය ලබාදිය යුතුය .

• එක් වේලකදී පමණ ඉක්මවා ආහාර අනුභවය හා දිරවීමට පෙර නැවතත් ආහාර අනුභවය .

• අධික ලෙසට කුසගින්නේ සිටීම.

සමහර කාන්තා පාර්ශවය කෙට්ටු වීම සදහා ඩයට් කිරීමට ගොස් මෙම රෝගී තත්වයට බදුන් වේ.

ඉහත කාරණය සහ මෙම කාරණය මගින් දේහයේ පිත ධාතුව ආවේග වීමක් වේ.එමගින් සුද යාමේ තත්වය ඇතිවේ.

• අක්‍රමවත් ඔපස් චක්‍රය.

• දීර්ඝකාලීනව පවතින දියවැඩියාව , හතිය, පාණ්ඩුව, කැස්ස සහ සමේ රෝග තත්වයන්.

• දීර්ඝකාලීන මානසික ආතතිය .( බිය හා කෝපය වැනි තත්වයන් අදාල වේ.)

• මලබද්ධය .

• රැකියා ස්වාභාවය අනුව .

දීර්ඝකාලීන වාඩිවී හෝ සිටගෙන සිටින රැකියා වල නිරත විම හා නිතර බරවැඩ වල නිරත වීම.

• පොදු වැසිකිලි නිතරම භාවිතා කිරීම.

• ඇතැම් පනු රෝග තත්වයන්.

මෙහිදී සනීපාරක්ෂක පුරුදු වල අඩුපාඩුකම් නිසා යෝනිය තුළින් පනු බිත්තර යෝනි මාර්ගය තුලට ඇතුළු වී එය ගර්භාෂය ආශ්‍රිතව පනුවන් සෑදී ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ගර්භාෂයික බිත්තියේ කොටස්මෙලෙස සුද වශයෙන් ‍යෝනිය තුළින් ඉවත් විය හැකිය .

• අක්‍රමවත් උපත්පාලන ක්‍රම.

සමහර කාන්තාවන් සදහා සමහර උපත්පාලන ක්‍රම විවිධ ආසාත්මිකතාවයන් පෙන්නුම් කරයි.විශේෂයෙන්ම හෝමෝනමය උපත්පාලන ක්‍රම මගින් සුද යාම සදහා වැඩිපුර බලපෑම් ඇතිකරයි.( ගිලින පෙති ,එන්නත් හා රදවන )

එමනිසා හෝමෝනමය නොවන කොන්ඩම් භාවිතය , ලූපය තැන්පත් කිරීම වැනි උපත්පාලන ක්‍රම වලට යොමුවීම වැදගත් වේ.

මෙම සුද යාමේ රෝගය සදහා රෝගි ලක්ෂණ ඉහතින් කියූ ආකාරයට පෙන්නුම් කරත්,වෙනත් රෝගී තත්වයන් සදහාද මෙම රෝගී ලක්ෂණම පෙන්නුම් කල හැකිය.

එමනිසා ,පලමුවෙන්ම කල යුත්තේ වෛද්‍යවරෙක් වෙතට යොමුවීමයි.එහිදී රෝග ඉතිහාසය මගින් රෝග නිදානයට ආයුර්වේද වෛද්‍යවරයා ප්‍රථිකර්ම කරනු ඇත.

පහතින් දක්වන්නේ එවැනි වෙනත් රෝගී තත්වයන් පිළිබඳව වේ. 

• ලිංගික සම්පේක්ෂණ රෝග

කිසියම් කාන්තාවක් එක් සහකරුවෙකු නොව බහු පුරුෂ සේවනයේ යෙදේ නම් ඇය මෙම රෝගී තත්වය පිළිබඳව අවධානය යොමු කල යුතුය .ගොනෝරියාව,හර්පීස් වැනි සමාජ රෝග වලදී මෙම වර්ණ වලින් නොවූවත් මීට ආසන්න වශයෙන් සුද යාමක් සිදුවේ.

• ගබ්සා වීමකදී.

• පිලිකා තත්වයන් හිදී.

ගැබ් ගෙල පිලිකා , ගර්භාෂය ආශ්‍රිත වෙනත් පිලිකා සහ විවිධ අසාමාන්‍යතා වලදී මෙවැනි තත්වයක් ඇතිවේ .

• ඩිම්බ කෝෂ ආශ්‍රිත අසාමාන්‍ය තත්ව වලදී.

මෙවැනි අවස්ථා පූර්වයෙන් හදුනා ගෙන අනාගතයේදී දරුඵල නොමැති වීම වැනි ගැටළු වලින් මිදිය හැක.

කාන්තාවන් සදහා සාමාන්‍යයෙන් සුද යාමේ තත්වය උත්සන්න වන කාලපරිච්ඡේද පවතී.සෑම කෙනෙකුටම මෙය අදාල නොවිය හැක.

• මන්ද පෝෂණ අවස්ථා වලදී හා ශරීරය ගිලන් වු අවස්ථා වලදී .

මෙය ශරීරයේ පිත ධාතුව ආවේග වන අවස්ථාවක් වේ.එහි ප්‍රථිඵලයක් ලෙසට ශ්වේත ප්‍රදර තත්වය ඇතිවේ.

• තද ශීත කාලගුණ අවස්ථා වලදී.

• දරු ප්‍රසූතියකින් පසුව.

• ඔපස් දිනයට ආසන්න පෙර හා පසු කාලය .

• ඩිම්බ කෝෂ ආශ්‍රිත සංකූලතා.

මෙවැනි අවස්ථා නොසලකා හැරීම නිසා පසුකාලීනව දරුවන් නොමැති වීම හා දරුගැබ ගබ්සා වීමේ තත්ව ඇති විය හැකිය.

මෙම රෝගයේ මූලික අවස්ථාවේදීම සුදුසුකම් ලත් වෛද්‍යවරෙක් වෙතට යොමු වන්න.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට තුලදී මෙය නිට්ටාවටම සුවකල හැකි අතර ඔබ ඖෂධ ලබාගන්නා අවස්ථා වලදී ඔබ සමහර පිලිවෙත් වලට යොමුවිය යුතුය .

• ශරීරයේ පිත අවේග කරන උෂ්ණ ආහාර වලින් නිරතුරුව වැලකිය යුතුය .

• සනීපාරක්ෂක පුරුදු පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න .

ඔපස් අවස්ථා වලදී ස්නානය අනිවාර්‍ය වේ.ලිංගේන්ද්‍රය ආශ්‍රිතව පිරිසිදුව හා වියලිව තබාගන්න .පිරිසිදු කපු වලින් නිමවූ ඇදුම් පරිහරණය කරන්න .

• මානසික ආතතියෙන් හැකිතාක් මිදෙන්න.

• හැකිතරම් ජලය පානය කරන්න .

රෝගී අවස්ථා වලදී ත්‍රිපලා පානය ගුණදායක වේ.බෙහෙත් නෙල්ලි හැපීමද ඔබට සිදු කල හැකිය.

මෙම රෝගී අවස්ථා වලදී මුත්‍රා නොයෑමේ තත්වයක් පවතීනම් ,කැකිරි ගෙඩියක් මගින් පානයක් සාදා එය බොන්න.පනු ආසාදන වලින් වැලකී සිටීමට නිසි කාලයේදී පනුවන් සදහා ඖෂධ ලබාගන්න .

දේහ උෂ්ණත්වය අවම කරන ආහාර ලෙසට හාතාවාරිය කැද හා ඉරමුසු කැද පානය කරන්න.කෑමට සුදුසු පලතුරු ලෙස කළු උක්,දෙළුම් ,නෙල්ලි ,කැකිරි,කොමඩු හැදින්විය හැකිය.

වර්තමානයේ දී මෙම රෝගයට ප්‍රථිකාර ලබා ගැනීමට  ආයුර්වේද වෛද්‍ය විද්‍යාව වෙතට යොමු වන අයගේ පහසුව වෙනුවෙන් ගුණාත්මක ලෙස සකස් කල ඖෂධ වර්ග නිපදවා ඇත.රෝගීන්ට තමන්ගේ එදිනෙදා ජීවිතයට බාධා නොවන අන්දමින් එම ඖෂධ භාවිතා කළ හැකිය.


D.H.S.L

ලිපියේ ගුණාත්මකභාවය පිළිබඳව ලකුණු ලබාදීම සදහා ලිපියේ පහළින් ඇති " ලිපියට ලබා දෙන
 ලකුණු " තීරුවේ ඔබේ මනාපය ✔පලකරන්න.


නවතම ලිපි පහසුවෙන් ඔබට පරිශීලනය කිරීම සදහා අපගේ " දිනපොත - Dairy " Facebook පිටුව සමග මෙතනින් (❉❉❉❉❉) එකතුවන්න.

**********************

Thursday 4 October 2018

ගැස්ට්‍රයිටිස් / ආමාශයික ප්‍රදාහය ( Gastritis )

අම්ල පිත්ත රෝගය (Hyper Acidity) පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම 
❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁

"බඩේ ගෑස්
හිතේ කහට
දණිස්සේ වතුර
ලේ වල සීනි "

වර්තමාන සමාජයේ ඇති සමහර බෝනොවන රෝගී තත්ව මෙලෙස කෙටිකර දැක්විය හැකිය .මේවා එකතු කර ඔබට අවශ්‍ය නම් රසවත් තේ කෝප්පයක් වුවද සාදාගත හැකිය.
❅❅❅❅❅❅❅❅❅❅❅❅❅

ඉහත සදහන් කල ආකාරයට ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය වර්තමානය සමාජයේ කෙතරම් බහුලවීද යත් එහි ආමන්ත්‍රණයේ පහසුව තකා සමාජය තුළ රෝගයේ නම "ගෑස්" හෝ "ගෑස්ටික්" ලෙසට වෙනස් වී ඇත.මෙම ගැස්ට්‍රයිටිස් රෝගය සදහා මූලිකම හේතුව වන්නේ කාර්‍යබහුල ජීවන පැවැත්මයි.

බොහෝ අවස්ථා වලදී සමහර අයවළුන් ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය හා අම්ල පිත්ත රෝගය එකක් ලෙසට සලකයි.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අම්ල පිත්ත රෝගය(Hyper acidity ) පුළුල් පරාසයක් ඇති රෝගයක් වන අතර එහි එක් අංශයක් ලෙසට ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය හැදින්විය හැකිය.ගැස්ට්‍රයිටිස් රෝගය පිළිබඳව හැදෑරීමට වඩා එහි මූලික/ප්‍රධාන ආකාරය වන අම්ල පිත්ත රෝගය (Hyper acidity) ගැන හැදෑරීම සුදුසු වේ.


අම්ල පිත්ත රෝගය යනු,ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව සෑදෙන රෝගී තත්වයකි.බොහෝ අවස්ථා වලදී එම රෝගයටම ආවේණික වූ රෝගී ලක්ෂණ පවතී.මෙම රෝගය සදහා මූලික හේතුව වන්නේ, නූතන කාර්‍යබහුල ජීවන ක්‍රමයයි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අම්ල පිත්ත රෝගය දෙයාකාර වේ.මෙම දෙයාකාරයට අනුව සෑදෙන රෝගී ලක්ෂණ ද දෙයාකාර වේ.

1. ඌර්ධවගත අම්ල පිත්තය

2. අධෝගත අම්ල පිත්තය

අම්ල පිත්තය යනු ,ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයක් වේ.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව රෝගයක් හටගැනීම සිදුවන්නේ තුන්දොස් කිපීම මගිනි.අම්ල පිත්ත රෝගය පිත්තජ රෝගයක් වන අතර අවශේෂ කරුණු ලෙසට සෙම සහ වාතය කිපීමක්ද සිදුවිය හැකිය .

ශරීරයේ පවතින පිත දෙයාකාර වේ.

• ප්‍රකෘති පිත

මෙය දේහය හොදින් පරිපාලනය කරයි.මෙය කටුක බවකින් යුක්තය .සිරුරට සැප ලබාදෙයි.

• විකෘති පිත

වඩාත් අම්ලාදික වේ.පිත්තජ රෝග ඇතිවිමට දායක වේ.අම්ල පිත්ත රෝගය සෑදීම සදහා දායක වන්නේ මෙම විකෘති පිත වේ.එනම් ,අම්ල පිත්ත රෝගයේදී කෝප වන්නේ මෙම විකෘති පිතයි.මෙය අම්ලාදික නිසා "ඇඹුල් වූ පිත" , අම්ල පිත්තය ලෙසට ව්‍යවහාර වී ඇත.

අම්ල පිත්ත රෝගය සෑදීම සදහා ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් පවතී.මෙම හේතු නිසා විකෘති පිත කිපීමක් සිදුවේ.

1. එකිනෙකට විරුද්ධ ආහාර වර්ග අනුභවය

2. නරක් වූ ආහාර වර්ග හෝ විශේෂ රසකාරක වර්ග යොදා සාදන ලද ආහාර ශීතකරණ වල තබා කල්ගත වී ආහාරයට ගැනීම

3. සැර සහ ඇඹුල් වර්ග වැඩි ආහාර නිතර ආහාරයට ගැනීම

4. විදාහී ආහාර හෙවත් සැර / දැවිල්ල ඇති කරන ආහාර නිතර අනුභවය

( රතු මිරිස් යෙදු ආහාර ,විනාකිරි යෙදූ ආහාර ,අබ යෙදූ ආහාර ආදිය )

5. මත්පැන් ,කිරෙන් තැනූ මෝරු ආදි පිත ඇවිස්සීමට ලක්කරන ආහාර අනුභවය

මෙම හේතු වලට අමතරව වර්තමානය ජනජීවිතය ආශ්‍රිත හේතු මගින්ද බොහෝ අවස්ථා වලදී මෙම අම්ල පිත්ත රෝගි තත්වය ඇතිවීම හෝ එය උත්සන්න වීම සිදුවිය හැකිය .

1. ක්ෂණික ආහාර වර්ග සහ කෘතීම බීම වර්ග වැඩිවාර ගණනක් භාවිතා කිරීම.

2. බටහිර හෝ ආයුර්වේද ඖෂධ නිසි වෛද්‍ය නිර්දේෂයකින් තොරව භාවිතා කිරීම.

3. විෂ සහිත රැකියා ආශ්‍රිතව සේවය කිරීම.

4. මත්පැන් පානය දුම් පානය හා අන්තරායකර ඖෂධ (මත්කුඩු වර්ග ගංජා,කංසා.....) වර්ග භාවිතය .

5. නිසි වේලාවට ආහාර නොගැනීම සහ ආහාර ගෙන දිරවීමට පෙර වරින් වර ආහාර ගැනීම.

 ( ප්‍රධාන ආහාර වේල් අතරතුර ගන්නා වූ ක්ෂණික ආහාර )

6. රාත්‍රියේදී නිදි වැරීම සහ දහවල් කාලයේදී අනවශ්‍ය ලෙසට නිදාගැනීම.

7. මානසික ආතතිය අධික වශයෙන් දීර්ඝ කාලයක් පැවතීම .

මෙවන් හේතු මගින් අම්ලපිත්ත රෝගය පමණක් නොව තවත් බෝ නොවන රෝග රැසකට පදනමක් වේ.

ඌර්ධවගත අම්ලපිත්ත රෝගය සදහා විකෘති පිත මෙන්ම සෙමද සම්බන්ධ වේ.අම්ල පිත්ත රෝගයේ බොහෝ දෙනා අතර වඩා සුලභ ආකාරය වන්නේ මෙම ඌර්ධවගත අම්ල පිත්ත රෝගී තත්වයයි.ඌර්ධවගත අම්ලපිත්ත තත්වය අමාශය හා ඉන් ඉහල ප්‍රදේශ තුළ ක්‍රියාකරයි.එනම් ,ආමාශය සහ ගලනාලය / අන්නස්‍රෝතය ආශ්‍රිතව වේ.

සෙම සමග එකතු වූ විකෘති පිත ඌර්ධවගත අම්ලපිත්ත රෝගයේදී විවිධ රෝග ලක්ෂණ ඇතිකරයි.

• සෙම සහිත වමනය ඇතිකිරීම.(අධික සෙම තත්වයක් පවතී )

• ඔක්කාරය සමග උගුරට ඇඹුල් රසක් දැනේ.

• බඩේ,පපුවේ හා උගුරේ තද බල දැවිල්ලක් ඇතිකරයි.

• තදබල හිසේ කැක්කුමක් ඇතිවිය හැකිය.

• අත් පාද වල දැවිල්ලක් හා උණ ගතියක් ඇතිවේ .

• ශරීරය කැසීම සහ ඇගේ පළු දැමීමක් විය හැකිය.

අධෝගත අම්ලපිත්ත රෝගය ඌර්ධවගත අම්ලපිත්ත රෝගය මෙන් සුලභ රෝගයක් නොවේ.මෙහිදී සෙම සම්බන්ධ නොවී විකෘති පිත මගින් පමණක් රෝගය ඇතිවී රෝගී ලක්ෂණ පෙන්නුම් කරයි.

• පිපාසය

• දැවිල්ල හා කැරකිල්ල

• ඔක්කාරය

• බඩගිනි අඩුබව

• දහදිය ගැලීම හා සමේ බිබිලි ඇතිවීම

• ශරීරය කහ පැහැති වීම.

මුලින්ම මෙම අම්ල පිත්ත රෝගය මුල් අවස්ථාවේදී දැනගත් විට ආයුර්වේද වෛද්‍යවරෙක් හමුවී වෛද්‍ය ප්‍රථිකාර ලබාගැනීම සුදුසු වේ.

ඔබට අම්ලපිත්ත රෝගී තත්ව ඇත්නම් පලමුව කල යුත්තේ වෛද්‍ය උපදෙස් පැතීමයි .ඊට හේතුව වන්නේ ඔබට එම රෝගී තත්ව හමුවේ වෙනත් රෝගයක් පැවතිය හැකි වීමයි.උදාහරණ ලෙසට පහත රෝග දැක්විය හැකිය .

1. හෘදයාබාධ

2. ආමාශයේ තුවාල හෝ වණ

3. ආමාශයේ පිළිකා

4. අග්න්‍යාසදාහය

එවැනි ප්‍රථිකාර ලබා ගන්නා රෝගියෙක් මෙන්ම දැනට නීරෝගීව සිටින අයෙකු වුවද නිසි පිලිවෙත් අනුව ජීවත්වන්නේ නම් අම්ලපිත්ත රෝගයෙන් තොර නීරෝගී ජීවිතයක් ගත කළ හැකිය .එවැනි පිළිවෙත් කිහිපයක් පහත පරිදි වේ.

• දවසේ ප්‍රධාන ආහාර වේල් තුන නිසි වේලාවට මනාකළමණාකාරීත්වයක් ඇතිව ගැනීම .

• ප්‍රධාන වේල් අතරතුරදී මද උණුසුම් උණු වතුර පානය කිරීම.

• ප්‍රධාන ආහාර වේල් අතරතුරදී බඩගින්නක් නොදැනේ නම් කිසිදු ආහාරයක් නොගන්න,එසේ ආහාරයක් ගතයුතු නම් පමණක් අළුත සෑදූ තෙල් රහිත ආහාරයක් අනුභව කරන්න .(ඒ සමගම ජලය පානය කිරීම අත්‍යාවශ්‍ය වේ.)

• ක්ෂණික ආහාර ,කෘතීමව බීම වර්ග ,රසකැවිලි වර්ග ,තෙල් සහිත ආහාර,අධික සැරක් සහිත ආහාර,ඛේථ ග්‍රන්ථි උද්දීපනය කරන බබල්ගම් වර්ග ආහාරයට නොගන්න .

• තේ , කෝපි පානය අවම කරන්න ,ඒ වෙනුවට පලතුරු , ඔසුපැන් හෝ ජලය සදහා හුරුවන්න.

• රාත්‍රියේ නිදි වැරීම හා අධික කුසීත බවින් දහවල නිදාගැනීමෙන් වලකින්න.

• ආතතිය පාලනය කරගන්න .

ආතතිය දුරලීම සදහා සංගීතයට සවන් දිම,භාවනා කිරීම,පොත් කියවීම සහ තමන්ට උචිත විනෝදාංශයකට යොමුවන්න .

• තද අව්වේ නොසිටින්න.

• මලපහ ,මුත්‍රා පිටනොකර නොසිටින්න.

• අථි මෛථුතන්‍යයෙන් වලකින්න .

අම්ලපිත්ත රෝගය සදහා විශේෂ ආහාර වර්ග කීහිපයක් අගුණ වේ.ඒවනම් ,

• අධික තෙල්,වියළි මිරිස් හා කුළුබඩු යෙදු ආහාර

• ඇඹුල් ආහාර

• අබ , විනාකිරි , රට දෙල් , උෂ්ණ මාළු , කරවල ,ගෝව,මුරුංගා,මාළුමිරිස්,අච්චාරු,ලුණුදෙහි,තක්කාලි ,හරක් මස්,ජාඩි,චොකලට් වර්ග ,පාන්පිටි ආහාර

අම්ලපිත්ත රෝගීන් සුවපත් වීමට සහ නීරෝගී පුද්ගලයින් සදහා තවදුරටත් රෝගය නොසෑදීමටද ප්‍රත්‍ය / සුදුසු ආහාර වර්ග පවතී.

• එළකිරි

• සියළු පළා වර්ග

අමුවෙන් ආහාරයට නොගත යුතුය .හොදින් පිසගෙන ආහාරයට ලබාගන්න .

• තැඹිලි ,කුරුම්බා ,කැකිරි ,කොහිල ,පොලොස් ,කවුපි ,මුංඇට ,අනෝදා ,ගම්මිරිස් ,සුදුළූනු ,උලුහාල් ,බතල ,වට්ටක්කා,පතෝල, වැටකොළු,අළුකෙසෙල්

මෙම අම්ලපිත්ත රෝගය සදහා ප්‍රථිකාර ගැනීම සිදුනොකලහොත් පිත්ත අම්ලය මගින් ආමාශ බිත්තිය තුවාල වී වණ හටගැනීමක් සිදුවේ.එය රක්තහීනතාවය මෙන්ම පිළිකා තත්ව බවට පත්විය හැකිය .

ආයුර්වේද වෛද්‍ය විද්‍යවේදී විවිධ ක්ෂාය වර්ග ,චූර්ණ මගින් මෙම තත්වය ප්‍රත්‍යක්ෂ වශයෙන් සුවකළ හැකිය .අවශ්‍ය වන්නේ රෝගියා අප්‍රත්‍යය හැසිරීම් වලින් වැලකීම හා නිසි ආකාරයට ඖෂධ වර්ග පිළිපැදීමයි.

D.H.S.L

✿✿✿✿✿✿✿✿✿✿

Facebook ඔස්සේ " දිනපොත - Dairy " පිටුව සමග සම්බන්ධ විම සදහා මෙතනින් (✿✿✿✿✿) පිවිසෙන්න.




Tuesday 2 October 2018

මලබද්ධය

මලබද්ධය පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක මතය.
                   ❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃
මෙය බොහෝ දෙනෙකු සමාජයක් ඉදිරිපිට සාකච්ඡා කිරීමට අකමැති මාතෘකාවක් වේ.කෙතරම් රසමසුළු ආහාරයට ගත්තත් ජීර්ණයේ අවසාන ඵලය වන්නේ අර්ධ ජීරණය වූ මලද්‍රව්‍යය වේ.

රස නහර පිනවා ආහාර ලබාගැනීම බොහෝදෙනෙක්ට පාහේ සතුටුදායක කාර්යයක් මෙන්ම නිසි ආකාරයෙන් මලද්‍රව්‍යය පිටවීමද එලෙසම සතුටුදායක කර්තව්‍යයක් වේ.ඔබ ඒ පිළිබඳව සමාජය ඉදිරියේ කීමට ලැජ්ජා වුවත් මදක් ඔබේ සිතින් ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න ,පිලිතුර ඔබටම ලබාගත හැකිය.

මලබද්ධය යනු,අප ආහාරයට ගන්නා වූ ආහාර ජීර්ණයේ ප්‍රථිඵලයක් ලෙසට ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන ඵලය ලෙසට සෑදුනු මලද්‍රව්‍යය බැහැර කිරීමේ අපහසුතාවයයි.මෙය ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගයකි.මලබද්ධය මුල් අවස්ථාවේදී මල පිටකිරීමේ අපහසුතාවයක් ලෙසට ඇති වී ක්‍රමයෙන් වෙනත් සංකූලතාවයන් ඇතිකරමින් රෝගී තත්වයක් බවට පරිවර්තනය වේ.


ආහාර ජීර්ණ පද්ධතියේ ගුදයට පෙර ඇති අවසාන කොටස වන්නේ මහාන්ත්‍රයයි.මෙම මහාන්ත්‍රය මගින් ආහාරයේ ඇති ජලය අවශෝෂණය කරයි.

මහාන්ත්‍රය තුළ ආහාර දීර්ඝ කාලයක් රැදීම නිසා මලද්‍රව්‍යය වලින් මහාන්ත්‍රය අවශෝෂණය කරන ජල ප්‍රමාණය අධික වේ.සාමාන්‍යයෙන් ජීරණය වූ ආහාරයෙන් 80% ක් පමණ ජලය  අවශෝෂණය කරගන්නේ මෙම මහාන්ත්‍රය තුලදී වේ.මෙලෙස මහාන්ත්‍රය තුළ මලද්‍රව්‍යය රැදෙන කාළය අධික වීම සහ අන්ත්‍ර වල මන්දගාමී චලන නිසා මෙවැනි මලබද්ධ තත්වයන් ඇතිවේ.

සාමාන්‍යයෙන් අයෙකු පුරුද්දක් වශයෙන් දිනකට වරක් හෝ දෙවරක් මලපහ පිටකිරීම සිදුකරයි.විටෙක අයෙකු දින දෙකකට තුනකට එක් වතාවක් පමණක් වුවද පුරුද්දක් වශයෙන් මලපහ පිටකල හැකිය.එවැනි තත්වයන් මලබද්ධ තත්වයන් ලෙසට සැලකිය නොහැක .මලද්‍රව්‍යය පිටකිරීමේදී අපහසුතාවයක් ඇතිවී ස්වකීය පුද්ගලයා අනවශ්‍ය ලෙසට තැටමීමක් සිදුකරයි නම් එය මලබද්ධ තත්වයක් වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මලබද්ධය ප්‍රධාන වශයෙන් වාතජ දෝෂයක් නිසා හටගන්නා වූ රෝගයක් වේ.නමුත් ,මෙයට පිත්තජ දෝෂ හා කඵජ දෝෂ අවශේෂ වශයෙන් හේතු විය හැකිය.උෂ්ණ කාලවලදී ශරීරයේ ඇතිවන විවිධ වෙනස්කම් නිසා මලද්‍රව්‍යය වියළි තත්වයට පත්වේ.එහිදී කඵජ දෝෂ නිසා මල වල ඇලුණු ස්වාභාවයක් ඇතිවේ.එමනිසා සෙම මගින් මල ගමන් කරන මාර්ගය අවරෝධකර මලබද්ධ තත්වය ඇතිකරවයි.

සමහරුන්ට උපතින්ම මලබද්ධ තත්වයන් ඇතිවිය හැකිය.තවත් අයට ගර්භණීභාවයේදී මෙන්ම වයසට යෑමේදිත් මලබද්ධ තත්වයන් ඇතිවිය හැකිය.එනම්,වාතජ දෝෂ ,පිත්තජ දෝෂ සහ කඵජ දෝෂ ඇතිවන අවස්ථාව අනුව මෙම රෝගය ඇතිවීම ඕනෑම අවස්ථාවකදී සිදුවිය හැකිය .

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මලබද්ධය ඇතිවිම සදහා එදිනෙදා චර්‍යාත්මක වෙනස්කම් මෙන්ම මානසික වෙනස්කම් ද හේතු වශයෙන් බලපායි.

1. පුරුද්දක් වශයෙන් චර්‍යාත්මකව මලද්‍රව්‍යය පිටකිරිම සදහා නිසි වේලාවක් ඇතිකර නොගැනීම
.
2. තන්තු / කෙදි සහිත ආහාර භාවිතයේ අඩුකම.

3. ජලය පානය කිරිමේ අඩුබව සහ ප්‍රමාණවත් නොවන පරිදි ආහාර ලබාගැනීම.

4. ඉක්මන්බව නිසා මලද්‍රව්‍යය නියමිත ලෙසට පිටවීමට ඉඩලබා නොදී අධික ලෙසට තැටමීම නිසා මලද්‍රව්‍යය මගින් එම මාර්ගය අවහිර වීම.

5. මානසික ආතතිය දීර්ඝකාලීනව පැවතීම .

6. ගර්භණීභාවය හා වියපත් වීම වැනි වාතජ ,පිත්තජ හා කපජ දෝෂයන් ඇතිවන අවස්ථාවන්.

7. සමහර රෝග වලට භාවිතා කරන ඖෂධ වල බලපෑම.එවැනි රෝග කිහිපයක් නම් ,

• මධුමේහය , වාත රෝග , ආන්ත්‍ර වල පිළිකා තත්ව , අන්ත්‍ර වල පටුවීමට ලබාගනනා ඖෂධ ,තයිරොයිඩ් ග්‍රන්ථයේ රෝග , සුසුම්නා ආඝාත තත්වයන් , මාංශ ක්ෂය වීම්

මෙම මලබද්ධ රෝගී තත්වයට මුල් අවස්ථාවේදී ප්‍රථිකාර නොකිරීමකදී කල්‍ යත්ම විවිධ සංකූලතාවයන් ඇතිවිය හැකිය .

• මලද්‍රව්‍යය බැහැර කිරීමේ අපහසුතාවය

• මලද්‍රව්‍යය ඝනව හෝ කැට වශයෙන් බැහැර විම සහ ඒ සදහා දිගු කාළයක් ගැනිම.

දිගු වේලාවක් අපහසුවෙන් මලද්‍රව්‍යය බැහැර කිරීම නිසා එය වේගවත් කරගැනීමේ අදහසින් රෝගියා විසින් තැටමීම සිදුකරයි.එහිදි වෙනත් අනිසි ප්‍රතිඵල වලට රෝගියා බදුන්වේ.

ගුද මාර්ගය ආශ්‍රිත පේශි වල දුර්වලතාවයක් එහිදී ඇතිවේ.එමගින් ගුද මාර්ගයේ අවසානයේ ඇති ගුද චක්‍ර පිධානය කෙරෙහි බලපෑම් ඇතිවී මලද්‍රව්‍යය පිටවීම සිතාමතා පාලනය කළ නොහැකි තත්වයක් ඇතිවේ.

• උදරයේ වේදනාව , බඩ පුරවා දැමීම, උදරයේ බර බව හා හිසරදය ඇතිවේ.

මේ සමගම නිතැතින්ම ආහාර අරුචියද ඇතිවේ.එනම් ,මලද්‍රව්‍යය පිටවීම නිසි ආකාරයෙන් සිදුනොවෙන අවස්ථා වලදී ආහාර අනුභවය සදහා ද නිසි ආකාරයට සිදුනොවේ.

• අර්ශස් තත්ව , හර්නියා තත්ව , අධික තැටමීම නිසා ගුද මාර්ගය පහත් විම සහ කාන්තා යෝනි මාර්ගය පහත් වීමේ අවධානමක් පවතී.

මේ ආකාරයට මලබද්ධය දීර්ඝකාලීනව පැවතීම නිසා ඇතිවන සංකූලතාවලින් වැලකීමට සහ නීරෝගී පුද්ගලයෙකුට මලබද්ධය ඇති නොවීම සදහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පහත ක්‍රියාවලීන් වල නිරත විය යුතුය .

• පෝෂ්‍යදායක සමබල ආහාර වේලක් ලබාගන්න.
ධාන්‍ය වර්ග,අල වර්ග ,එළවළු වර්ග ,පළතුරු වර්ග ,කිරි ආදිය නිසි ප්‍රමාණ වලින් අඩංගු විය යුතුය .

• හැකිතාක් දුරට ජලය පානය කරන්න.

එමගින් ,මහාන්ත්‍රය තුළ ජල අවශෝෂණය කලත් මලද්‍රව්‍යය තුලද තවත් ජල ප්‍රමාණයක් ඉතිරි වීම නිසා මලද්‍රව්‍යය වලට නිසි ස්නේහකතාවයක් ලැබේ.එමනිසා මලද්‍රව්‍යය පිටකිරීමේ අපහසුතාවයක් ඇතිනොවේ.

• කෙදි / තන්තු බහුල ආහාර වැඩිපුර ආහාරයට ගන්න.
(එළවළු ,පලතුරු ,කුරුට්ට සහිත ධාන්‍ය වර්ග,රනිල කුලයේ ශාඛ ආදිය)

කෙදි / තන්තු  දේහය තුලදී ජීරණය නොවන බැවින් ආහාරයේ පරිමාව එමගින් වැඩිවේ.අන්ත්‍ර වල චලනයන් වැඩිකිරීම මගින් කෙටි කාලයක් තුලදී මලද්‍රව්‍යය පිටකිරීමට සලස්වයි.ආන්ත්‍ර බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය වැඩිකිරීමටද තන්තු දායක වේ.

• තමන්ගේ දිනචර්‍යාවේ නියමිත වූ වෙලාවකට සිදුකරන පුරුද්දක් බවට වැසිකිලි යාම හා මලද්‍රව්‍යය පිටකිරිම සිදුකරන්න .

කාර්‍යබහුලත්වය නිසා සමහරුන් මෙම මලපහ බැහැර කිරීමේ අවශ්‍යතාවය පසුවට කල්දමයි.ඉන් සිදුවන්නේ මලද්‍රව්‍යය මහාන්ත්‍රය තුළ පවතින කාලය වැඩිවී ඉන් අධික ලෙසට ජලය අවශෝෂණය වී මලද්‍රව්‍යය වල ස්නේහකතාවය අඩුවීමයි.

• උදෑසන අවදි වූ පසුව මද උණුසුම් උණු වතුර වීදුරුවක් පානය කරන්න .

හැකියාවක් ඇත්නම් කාලසටහනකට අනුව කොළකැද වීදුරුවක් ද පානය කරන්න.

• ආහාර මුඛය තුලදී හොදින් විකා සෙමින් අනුභව කරන්න .

ආහාර දත් මගින් විකීමේ ගැටළු ඇතිවූ විටෙක එහි ජීරණය ද ගැටළු සහගත වී මලද්‍රව්‍යය පිටකිරීමේ අපහසුතාවයන් ඇතිවේ.

• මානසික ආතතිය අවමකර ගැනිම සදහා භාවනාව හෝ යෝග ව්‍යායාම වල නිරත වන්න.

• දුම්බීම හා මත්පැන් පානයෙන් වැලකිම.

මලබද්ධය රෝගීන්ගේ මෙන්ම මලබද්ධය ඇතිවීම වැලැක්වීමට කටයුතු කරන නීරෝගී පුද්ගලයින්ගේද එදිනෙදා ආහාරයට පහත දෑ එක්වීම යෝග්‍ය සහගත වේ.

කොළ පැහැති එළවළු , පලතුරු , වට්ටක්කා , පිපිඤඤා , කැකිරි , නිවුඩ්ඩ සහිත සහල් , මුං ඇට , කඩල , කව්පි , කොහිල , ගොටුකොළ , කතුරුමුරුංගා , නිවිති, ගැටතුඹ,කුරක්කන්.

මෙවැනි ආහාර පිලිවෙත් මගින් හා චර්‍යාත්මක මනාකළමණාකාරීත්වය මගින් මලබද්ධ රෝගය සුවවීම හෝ රෝගය පාලනය වීමක් සිදුවේ .ඉන්පසුව ආයුර්වේද වෛද්‍යවරයා විසින් නියමකරන ඖෂධ ලබාගැනීම මගින් රෝගී තත්වය සමනය කරගත හැකිය .

D.H.S.L

✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿


Facebook ඔස්සේ " දිනපොත - Dairy " පිටුව සමග සම්බන්ධ විම සදහා මෙතනින් පිවිසෙන්න.



"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...