Tuesday 2 October 2018

මලබද්ධය

මලබද්ධය පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක මතය.
                   ❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃❃
මෙය බොහෝ දෙනෙකු සමාජයක් ඉදිරිපිට සාකච්ඡා කිරීමට අකමැති මාතෘකාවක් වේ.කෙතරම් රසමසුළු ආහාරයට ගත්තත් ජීර්ණයේ අවසාන ඵලය වන්නේ අර්ධ ජීරණය වූ මලද්‍රව්‍යය වේ.

රස නහර පිනවා ආහාර ලබාගැනීම බොහෝදෙනෙක්ට පාහේ සතුටුදායක කාර්යයක් මෙන්ම නිසි ආකාරයෙන් මලද්‍රව්‍යය පිටවීමද එලෙසම සතුටුදායක කර්තව්‍යයක් වේ.ඔබ ඒ පිළිබඳව සමාජය ඉදිරියේ කීමට ලැජ්ජා වුවත් මදක් ඔබේ සිතින් ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න ,පිලිතුර ඔබටම ලබාගත හැකිය.

මලබද්ධය යනු,අප ආහාරයට ගන්නා වූ ආහාර ජීර්ණයේ ප්‍රථිඵලයක් ලෙසට ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන ඵලය ලෙසට සෑදුනු මලද්‍රව්‍යය බැහැර කිරීමේ අපහසුතාවයයි.මෙය ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගයකි.මලබද්ධය මුල් අවස්ථාවේදී මල පිටකිරීමේ අපහසුතාවයක් ලෙසට ඇති වී ක්‍රමයෙන් වෙනත් සංකූලතාවයන් ඇතිකරමින් රෝගී තත්වයක් බවට පරිවර්තනය වේ.


ආහාර ජීර්ණ පද්ධතියේ ගුදයට පෙර ඇති අවසාන කොටස වන්නේ මහාන්ත්‍රයයි.මෙම මහාන්ත්‍රය මගින් ආහාරයේ ඇති ජලය අවශෝෂණය කරයි.

මහාන්ත්‍රය තුළ ආහාර දීර්ඝ කාලයක් රැදීම නිසා මලද්‍රව්‍යය වලින් මහාන්ත්‍රය අවශෝෂණය කරන ජල ප්‍රමාණය අධික වේ.සාමාන්‍යයෙන් ජීරණය වූ ආහාරයෙන් 80% ක් පමණ ජලය  අවශෝෂණය කරගන්නේ මෙම මහාන්ත්‍රය තුලදී වේ.මෙලෙස මහාන්ත්‍රය තුළ මලද්‍රව්‍යය රැදෙන කාළය අධික වීම සහ අන්ත්‍ර වල මන්දගාමී චලන නිසා මෙවැනි මලබද්ධ තත්වයන් ඇතිවේ.

සාමාන්‍යයෙන් අයෙකු පුරුද්දක් වශයෙන් දිනකට වරක් හෝ දෙවරක් මලපහ පිටකිරීම සිදුකරයි.විටෙක අයෙකු දින දෙකකට තුනකට එක් වතාවක් පමණක් වුවද පුරුද්දක් වශයෙන් මලපහ පිටකල හැකිය.එවැනි තත්වයන් මලබද්ධ තත්වයන් ලෙසට සැලකිය නොහැක .මලද්‍රව්‍යය පිටකිරීමේදී අපහසුතාවයක් ඇතිවී ස්වකීය පුද්ගලයා අනවශ්‍ය ලෙසට තැටමීමක් සිදුකරයි නම් එය මලබද්ධ තත්වයක් වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මලබද්ධය ප්‍රධාන වශයෙන් වාතජ දෝෂයක් නිසා හටගන්නා වූ රෝගයක් වේ.නමුත් ,මෙයට පිත්තජ දෝෂ හා කඵජ දෝෂ අවශේෂ වශයෙන් හේතු විය හැකිය.උෂ්ණ කාලවලදී ශරීරයේ ඇතිවන විවිධ වෙනස්කම් නිසා මලද්‍රව්‍යය වියළි තත්වයට පත්වේ.එහිදී කඵජ දෝෂ නිසා මල වල ඇලුණු ස්වාභාවයක් ඇතිවේ.එමනිසා සෙම මගින් මල ගමන් කරන මාර්ගය අවරෝධකර මලබද්ධ තත්වය ඇතිකරවයි.

සමහරුන්ට උපතින්ම මලබද්ධ තත්වයන් ඇතිවිය හැකිය.තවත් අයට ගර්භණීභාවයේදී මෙන්ම වයසට යෑමේදිත් මලබද්ධ තත්වයන් ඇතිවිය හැකිය.එනම්,වාතජ දෝෂ ,පිත්තජ දෝෂ සහ කඵජ දෝෂ ඇතිවන අවස්ථාව අනුව මෙම රෝගය ඇතිවීම ඕනෑම අවස්ථාවකදී සිදුවිය හැකිය .

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මලබද්ධය ඇතිවිම සදහා එදිනෙදා චර්‍යාත්මක වෙනස්කම් මෙන්ම මානසික වෙනස්කම් ද හේතු වශයෙන් බලපායි.

1. පුරුද්දක් වශයෙන් චර්‍යාත්මකව මලද්‍රව්‍යය පිටකිරිම සදහා නිසි වේලාවක් ඇතිකර නොගැනීම
.
2. තන්තු / කෙදි සහිත ආහාර භාවිතයේ අඩුකම.

3. ජලය පානය කිරිමේ අඩුබව සහ ප්‍රමාණවත් නොවන පරිදි ආහාර ලබාගැනීම.

4. ඉක්මන්බව නිසා මලද්‍රව්‍යය නියමිත ලෙසට පිටවීමට ඉඩලබා නොදී අධික ලෙසට තැටමීම නිසා මලද්‍රව්‍යය මගින් එම මාර්ගය අවහිර වීම.

5. මානසික ආතතිය දීර්ඝකාලීනව පැවතීම .

6. ගර්භණීභාවය හා වියපත් වීම වැනි වාතජ ,පිත්තජ හා කපජ දෝෂයන් ඇතිවන අවස්ථාවන්.

7. සමහර රෝග වලට භාවිතා කරන ඖෂධ වල බලපෑම.එවැනි රෝග කිහිපයක් නම් ,

• මධුමේහය , වාත රෝග , ආන්ත්‍ර වල පිළිකා තත්ව , අන්ත්‍ර වල පටුවීමට ලබාගනනා ඖෂධ ,තයිරොයිඩ් ග්‍රන්ථයේ රෝග , සුසුම්නා ආඝාත තත්වයන් , මාංශ ක්ෂය වීම්

මෙම මලබද්ධ රෝගී තත්වයට මුල් අවස්ථාවේදී ප්‍රථිකාර නොකිරීමකදී කල්‍ යත්ම විවිධ සංකූලතාවයන් ඇතිවිය හැකිය .

• මලද්‍රව්‍යය බැහැර කිරීමේ අපහසුතාවය

• මලද්‍රව්‍යය ඝනව හෝ කැට වශයෙන් බැහැර විම සහ ඒ සදහා දිගු කාළයක් ගැනිම.

දිගු වේලාවක් අපහසුවෙන් මලද්‍රව්‍යය බැහැර කිරීම නිසා එය වේගවත් කරගැනීමේ අදහසින් රෝගියා විසින් තැටමීම සිදුකරයි.එහිදි වෙනත් අනිසි ප්‍රතිඵල වලට රෝගියා බදුන්වේ.

ගුද මාර්ගය ආශ්‍රිත පේශි වල දුර්වලතාවයක් එහිදී ඇතිවේ.එමගින් ගුද මාර්ගයේ අවසානයේ ඇති ගුද චක්‍ර පිධානය කෙරෙහි බලපෑම් ඇතිවී මලද්‍රව්‍යය පිටවීම සිතාමතා පාලනය කළ නොහැකි තත්වයක් ඇතිවේ.

• උදරයේ වේදනාව , බඩ පුරවා දැමීම, උදරයේ බර බව හා හිසරදය ඇතිවේ.

මේ සමගම නිතැතින්ම ආහාර අරුචියද ඇතිවේ.එනම් ,මලද්‍රව්‍යය පිටවීම නිසි ආකාරයෙන් සිදුනොවෙන අවස්ථා වලදී ආහාර අනුභවය සදහා ද නිසි ආකාරයට සිදුනොවේ.

• අර්ශස් තත්ව , හර්නියා තත්ව , අධික තැටමීම නිසා ගුද මාර්ගය පහත් විම සහ කාන්තා යෝනි මාර්ගය පහත් වීමේ අවධානමක් පවතී.

මේ ආකාරයට මලබද්ධය දීර්ඝකාලීනව පැවතීම නිසා ඇතිවන සංකූලතාවලින් වැලකීමට සහ නීරෝගී පුද්ගලයෙකුට මලබද්ධය ඇති නොවීම සදහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පහත ක්‍රියාවලීන් වල නිරත විය යුතුය .

• පෝෂ්‍යදායක සමබල ආහාර වේලක් ලබාගන්න.
ධාන්‍ය වර්ග,අල වර්ග ,එළවළු වර්ග ,පළතුරු වර්ග ,කිරි ආදිය නිසි ප්‍රමාණ වලින් අඩංගු විය යුතුය .

• හැකිතාක් දුරට ජලය පානය කරන්න.

එමගින් ,මහාන්ත්‍රය තුළ ජල අවශෝෂණය කලත් මලද්‍රව්‍යය තුලද තවත් ජල ප්‍රමාණයක් ඉතිරි වීම නිසා මලද්‍රව්‍යය වලට නිසි ස්නේහකතාවයක් ලැබේ.එමනිසා මලද්‍රව්‍යය පිටකිරීමේ අපහසුතාවයක් ඇතිනොවේ.

• කෙදි / තන්තු බහුල ආහාර වැඩිපුර ආහාරයට ගන්න.
(එළවළු ,පලතුරු ,කුරුට්ට සහිත ධාන්‍ය වර්ග,රනිල කුලයේ ශාඛ ආදිය)

කෙදි / තන්තු  දේහය තුලදී ජීරණය නොවන බැවින් ආහාරයේ පරිමාව එමගින් වැඩිවේ.අන්ත්‍ර වල චලනයන් වැඩිකිරීම මගින් කෙටි කාලයක් තුලදී මලද්‍රව්‍යය පිටකිරීමට සලස්වයි.ආන්ත්‍ර බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය වැඩිකිරීමටද තන්තු දායක වේ.

• තමන්ගේ දිනචර්‍යාවේ නියමිත වූ වෙලාවකට සිදුකරන පුරුද්දක් බවට වැසිකිලි යාම හා මලද්‍රව්‍යය පිටකිරිම සිදුකරන්න .

කාර්‍යබහුලත්වය නිසා සමහරුන් මෙම මලපහ බැහැර කිරීමේ අවශ්‍යතාවය පසුවට කල්දමයි.ඉන් සිදුවන්නේ මලද්‍රව්‍යය මහාන්ත්‍රය තුළ පවතින කාලය වැඩිවී ඉන් අධික ලෙසට ජලය අවශෝෂණය වී මලද්‍රව්‍යය වල ස්නේහකතාවය අඩුවීමයි.

• උදෑසන අවදි වූ පසුව මද උණුසුම් උණු වතුර වීදුරුවක් පානය කරන්න .

හැකියාවක් ඇත්නම් කාලසටහනකට අනුව කොළකැද වීදුරුවක් ද පානය කරන්න.

• ආහාර මුඛය තුලදී හොදින් විකා සෙමින් අනුභව කරන්න .

ආහාර දත් මගින් විකීමේ ගැටළු ඇතිවූ විටෙක එහි ජීරණය ද ගැටළු සහගත වී මලද්‍රව්‍යය පිටකිරීමේ අපහසුතාවයන් ඇතිවේ.

• මානසික ආතතිය අවමකර ගැනිම සදහා භාවනාව හෝ යෝග ව්‍යායාම වල නිරත වන්න.

• දුම්බීම හා මත්පැන් පානයෙන් වැලකිම.

මලබද්ධය රෝගීන්ගේ මෙන්ම මලබද්ධය ඇතිවීම වැලැක්වීමට කටයුතු කරන නීරෝගී පුද්ගලයින්ගේද එදිනෙදා ආහාරයට පහත දෑ එක්වීම යෝග්‍ය සහගත වේ.

කොළ පැහැති එළවළු , පලතුරු , වට්ටක්කා , පිපිඤඤා , කැකිරි , නිවුඩ්ඩ සහිත සහල් , මුං ඇට , කඩල , කව්පි , කොහිල , ගොටුකොළ , කතුරුමුරුංගා , නිවිති, ගැටතුඹ,කුරක්කන්.

මෙවැනි ආහාර පිලිවෙත් මගින් හා චර්‍යාත්මක මනාකළමණාකාරීත්වය මගින් මලබද්ධ රෝගය සුවවීම හෝ රෝගය පාලනය වීමක් සිදුවේ .ඉන්පසුව ආයුර්වේද වෛද්‍යවරයා විසින් නියමකරන ඖෂධ ලබාගැනීම මගින් රෝගී තත්වය සමනය කරගත හැකිය .

D.H.S.L

✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿


Facebook ඔස්සේ " දිනපොත - Dairy " පිටුව සමග සම්බන්ධ විම සදහා මෙතනින් පිවිසෙන්න.



2 comments:

  1. කටු පිටිං කොහිල කෑවම ඕක හොද වෙනවයි කියන්නෙ කට කතාවට 🙂

    ReplyDelete
    Replies
    1. Rangana Kandambi
      කටු පිටින් නෙවෙයි , කොහිල දළු කන්න ඕනෙ, කොහොමද කටු පිටින් කන්නෙ,
      කොහිල වල තන්තු බහුලයි, ඒකයි ගුණ

      Delete

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...