Showing posts with label රුධිරය (Blood). Show all posts
Showing posts with label රුධිරය (Blood). Show all posts

Tuesday, 4 September 2018

දහතුන්වෙනි දිගහැරුම (#13).....(අවසාන කොටස)

👏👏👏👏✋✋✋✋✋✊✊✊✊✊
=======================

#මෙම ලිපිය අවසන් ලිපිය බැවින් තරමක් දීර්ඝ ස්වරූපයක් ගනී.මෙය දොලොස් වෙනි ලිපියේ(#12) දෙවෙනි දිගහැරුම වේ.

#ඔබ පළමු වතාවේදී රුධිරය ලබා දීමේදී එම රුධිර පාරවිලයන සායනය මගින් ඔබට රුධිර පාරවිලයන වාර ගණන සටහන් කිරීමේ සටහන් පතක් ලබාදේ.

#ඔබ කරනු ලැබූ සත්ක්‍රියාව නැවත ආවර්ජනය පහසු කිරීමට මෙම සටහන්පතේ සෑම රුධිර පාරවිලයනයක්ම සටහන් කර සුරක්ෂිතව ලග තබාගන්න.

#එය ඔබට මුදලට විකිණීමට නොහැකි උවත් ඔබගේ හෘදසාක්ෂියේ සතුට ඇතිකිරීමට එය ඔබට උපකාරී වනු ඇත .
ලිපිය අවසාන රූපයේ ඇත්තේ එවැනි සටහන්පතකි.ඔහු රුධිරය පාරවිලයන වාර දොලහක අයිතිකරැවෙක් වේ.
( ඔහු නමින් #Supun_Lakshitha_Gamage වේ.)

#එමෙන්ම මෙම ලිපි පෙළ ලියන අතරවාරයේදී මෙය විවිධ සමූහ (Group) වල ලිපි පෙළ පළ වීම නිසා එහිදීද විවිධ වාර ගණන් වලින් රුධිර පාරවිලයනය කරතිබූ පුද්ගලයින් මට හමුවිය.සමහරුන් වාර පහක් ,දහයක් ,හතක් ආදී ලෙසට ඔවුන් අන්‍යන්ගේ යහපැවැත්ම සදහා තමන්ට හැකි පමණින් දායක වී තිබුණි .

#කර්මයේ වක්‍ර ස්වාභාවයක් ඇත.එනම් ,ඔබ යහපතක් කරන්නේ නම් ,අනිවාර්යයෙන්ම ඔබට යහපතක්ම ලැබේ.ඔබ අද දින රුධිරය ලබාදී අසරණ පුද්ගලයින් ජීවත් කරනවාසේම කෙදිනක හෝ ඔබටද හදිසි රුධිර අවශ්‍යතාවයකදී එම උපකාරයම ලැබෙනු ඇත.

#පෙර කී පරිදිම රුධිරය ලබාදීමේදී ඔබට සටහන්පතක් ලබාදී,එහි සටහන් කිරීමක් කරනු ඇත.සමූහයකට රුධිරය අත්‍යාවශ්‍ය වන අවස්ථාවකදී ඔබත් එම සමූහය තුල රුධිරය අවශ්‍ය කෙනෙකු වශයෙන් සිටින්නේ නම් ,ඔබ එම සටහන්පත ඉදිරිපත් කිරීමේදී ඔබට රුධිරය ලැබීමේ ප්‍රමුඛත්වය ලැබෙන්නේය .
(සැලකුමට , සැලකුම කියන්නේ මේ වගේ අවස්ථා වලට )
😊😊😊😊👆👆👆👆

#ලිපියේ අවසාන වශයෙන් දැනට රුධිරය දන්දෙන පුද්ගලයින්ට සහ ඉදිරියේදී මේ සදහා ඉදිරිපත් වීමට සිටින පුද්ගලයින් දිරිමත් කිරිම සදහා එක්තරා පරාර්ථකාමීපුද්ගලයෙක් පිළිබඳව සටහනක් යොදන්නට සිතුවෙමි.

#මොහු හදුන්වන්නේ Man with the golden arm හෙවත් " ස්වර්ණමය හස්තයක හිමිකරුවා " ලෙසටයි.💪💪💪✋✋✋

#මොහු නමින් ජේම්ස් හැරිසන්,උපත 1936 දී,මොහු ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්.ඔහුට ඇතිවූ අසනීප තත්වයක් නිසා වයස අවුරුදු 14 දී ඔහුගේ එක් පෙණහැල්ලක් ඉවත්කිරීමක් සිදුකරනවා.ඔහුට මාස තුනක් පමණ රෝහල් ගතව සිටීමට සහ නොකඩවා රුධිරය ලීටර් 15 ක් පමණ ලබාදෙනවා.මේ කාළයේදි ඔහු තේරුම් ගන්නවා තමන් තවදුරටත් ජීවත් වෙන්නේ රුධිර දායකයින්ගේ පිහිටෙන් බව.

#එමනිසා ,ඔහු ඕස්ට්‍රේලියානු නීතිය අනුව වයස 18 ඉක්මවනවාත් සමගම රුධිරය ලබාදීමට තීරණ කරනවා.මෙහෙම රුධිරය ලබාදීමෙන් ටික කලක් යන විට වෛද්‍යවරුන් විසින් මොහුගේ රුධිරයේ විශේෂ වෙනස් වූ ස්වාභාවයක් හදුනාගන්නවා.

#මොහුගේ රුධිරයේ ප්‍රති Rh වලට ප්‍රතිරෝධී ප්‍රතිදේහයක් පවතින බව පරීක්ෂකයින් විසින් සොයාගන්නවා.මෙමගින් විශේෂ එන්නතක් නිපදවීම උචිත යයි හදුනාගත් විද්‍යාඥයන් විසින් ඔහුව විශාල මුදලකට රක්ෂණය කර ඖෂධය නිපදවීම ආරම්භ කරනවා.එමනිසා ,දැනට ප්‍රති Rh වලට එරෙහිව දෙන එන්නත සෑදීමට ඔවුන් සමත් වෙනවා.

#විශේෂයෙන්ම වර්තමානයේදී පවා ගර්භනී මවුවරුන්ට ප්‍රති Rh රුධිරයේ සෑදීම නිසා සිදුවන සංකූලතා මගහැරවා ගැනීමට මෙම එන්නත උපකාරී වේ.
( පෙර ලිපියක "රුධිර පොරොන්දම් ගැලපීම " යටතේ ප්‍රති Rh පිළිබඳව සංකල්පය පවතී.)

#මෙම එන්නත සෑදීම නිසා බොහෝ මවුවරුන්ගේ ජීවිත සංකූලතා වලින් සුවවීමට හැකිවෙනවා.එමෙන්ම දැනට උවද මෙම එන්නත සෑදීමට උපකාරී වන්නේ මෙහිදී කරන ලද පරීක්ෂණ වල ප්‍රථිඵලයක් ලෙසය.ජේම්ස් හැරිසන් ගේ දියණියගේ ගර්භණී සමයේදී ඇති වූ සංකූලතාවයට ප්‍රතිකාරයක් ලෙස උපකාරී වූවේද, මෙම එන්නත වේ.

#ඔහු තමන්ගේ ජීවිත කාලය තුලදී 1173 වාරයක් රුධිරය පාරවිලයනය කර ඇත .ඔහුගේ රුධිරයේ ස්වාභාවය අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා අඩු කාලයක් තුළදී රුධිර ප්ලාස්මය ඔහුට පාරවිලයනය කරන්නට හැකිවිය.සාමාන්‍යයෙන් ඔහුට සති තුනකට වතාවක් රුධිරය පාරවිලයනය කිරීමට හැකිවිය.

#ඕස්ට්‍රේලියානු නීතිය අනුව වයස අවුරුදු 81 න් පසුව රුධිරය ලබාදීම තහනම් නිසා ඔහු එම වයසේදී රුධිරය ලබාදීම නතරකරන ලදී.

#ඔහු තමන්ගේ රුධිරය මගින් කරනු ලැබූ සේවයට Medal of the order of Australia යන සම්මානයෙන් පිදුම් දෙන ලදී.ඔහුගේ රුධිරයෙන් ලෝකයට ඇතිවූ ප්‍රයෝජනය නිසා Man with the golden arm හෙවත් ස්වර්ණමය හස්තයක හිමිකරුවා ලෙස ඔහු හදුන්වනවා .
💪💪💪💪✊✊✊✊

#මදක් සිතන්න ,ඔබ ජීවත් වී කෙදිනක හෝ මියයාවි,ඔබ මියයන දිනක ලෝකයේ එකදු ජීවිතයක හෝ පණ නළ රැකදීමට ඔබට හැකි වන්නේ නම් ඔබ ඔබේ හෘදසාක්ෂිය සැබෑවටම සතුටු කළ පුද්ගලයෙකි.සෑම විටම ඒ ක්‍රියාව වෙනුවෙන් කැපවෙන්න.අප "දිනපොත - Dairy " පිටුවේ මගපෙන්වීමද ඒ සදහාම වේ.
👏👏👏👏👏👏👏👏👏

ස්තූතියි සැම දෙනාටම..................🙏🙏🙏🙏🙏

D.H.S.L
***********************









දොළොස් වෙනි දිගහැරුම (#12)

👍👍😊😊😊😊😊😊
========================

#පෙර ලිපියේදී සාකච්ඡා කල ආකාරයට රුධිර පාරවිලයන කදවුරක් සංවිධානය කරන ආකාරයේ ඉතුරු වූ කරුණු සාකච්ඡා කරමු.....
👇👇👇👇👌👌👌
• රුධිර පාරවිලයන සායනය සංවිධානය කරන ගොඩනැගිල්ල හෝ අදාල ස්ථානය තුළ යටිතල පහසුකම් යහපත් ආකාරයෙන් පැවතීම .
#උදාහරණයක් ලෙසට අදාළ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට හා එදින පැමිණෙන රුධිර පරිත්‍යාගශීලීන්ගේ පාවිච්චිය සදහා පානීය ජල පහසුකම් ,වැසිකිලි ආදී සනීපාරක්ෂක පහසුකම් ආදිය සංවිධායකයින් විසින් සැපයීම.

• සායනය සදහා අවශ්‍ය කාර්‍යාලීය පුටු,මේස,පැමිණෙන අයවළුන් සදහා අවශ්‍ය වන පුටු හෝ බංකු ආදිය,විදුළි පංකා ආදිය සංවිධායක මණ්ඩලය විසින් සැපයිය යුතු අතර ,රුධිර දායකයින් සදහා අවශ්‍ය ඇදන් හා අවශ්‍ය වෙනත් උපකරණ ලේ බැංකු සපයයි.

• මෙහි සංවිධායකවරුන් විසින් ඔවුන් සම්බන්ධ කරගත් ලේ බැංකුවේ අදාල ශාඛාව මගින් ලබා දෙන දැන්වීම්,අත්පත්‍රිකා ආදිය මහජනතාව වෙතට ලබාදීමට කටයුතු කළ යුතුයි .එමගින් අදාළ රුධිරය සායනය සදහා වැඩි දායකයින් පිරිසක් එක්කාසු කරගැනීම සියළු දෙනාගේම අභිලාෂය වේ.

• රුධිරය ලබාදීමෙන් පසුව සමහර පුද්ගලයින්ට ක්ලාන්ත හෝ තෙහෙට්ටු ගතියක් ඇතිවන නිසා රුධිරය ලබාදීමෙන් පසුව ඔවුන්ට සුළු ආහාරයක් හෝ දියරමය පානයක් (තැඹිලි ,උණු කිරි වීදුරුවක් ) ලබා දීමට සංවිධායක මණ්ඩලය විසින් කටයුතු කළයුතුය .

• මෙම සත්ක්‍රියාව සදහා මුදල්මය බලාපොරොත්තුවකින් තොරව කැපවන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා අවශ්‍ය තේ පැන්,දිවා ආහාරය ආදිය සැපයීමට සංවිධායක මණ්ඩලය වගබලාගත යුතුය .

• හැකි සෑම විටම ඔබට අදාළ ලේ බැංකු ශාඛාවෙන් මේ පිළිබඳව ඔබ උපදෙසක් ලබාගන්න.
********************✌️✌️✌️✌️✋✋✋✋

#ඔබට ඉහතින් දැක්වූ උපදෙස් උපකාරී කර ගනිමින් රුධිර දාන කදවුරක් පැවැත්වීම සදහා සංවිධානය විය හැකිය .👌👌👌👌👌

#ඒ සදහා පාසල් ,විවිධ සමිති ,පන්සල් ,උපකාරක පන්ති,වෙළද සංගම්,ක්‍රීඩා සමාජ ආදී විවිධ මට්ටම් මගින් මෙවන් කදවුරක් සංවිධානය කළ හැකිය .

#පෙර මා සදහන් කල පරිදි ලගම රෝහලේ ලේ බැංකු ශාඛාව ඔබට මෙවැනි කදවුරු සදහා යොදාගත හැකි අතර වැඩිපුර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් මෙම දුරකථන අංක භාවිතා කරන්න.

රුධිර පාරවිලයන සේවය ........
• දුරකතන: 0112369931 – 4

විද්‍යුත් ලිපිනය: info@nbts.health.gov.lk

• නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය 0112369931 / 0115332153
• කොළඹ ජාතික රෝහල 0112691111

• කලුබෝවිල ශික්ෂණ රෝහල 011822261
• මහනුවර මහ රෝහල 0812222170/0812223849/0812233343
• පේරාදෙනිය මහ රෝහල 0812388002/2388371
• බදුල්ල මහ රෝහල 0552222124
• අම්පාර මහ රෝහල 632224727 
• කරාපිටිය ශික්ෂණ රෝහල 0912246061/0912227638
• කුරුණෑගල ශික්ෂණ රෝහල 0372224131
• මාතර මහ රෝහල 0412222444
• රාගම ශික්ෂණ රෝහල 0112959266/0112959157
• කළුතර මහ රෝහල 0342222449
• මොණරාගල මහ රෝහල 0552276700/0552276261
• අනුරාධපුර ශික්ෂණ රෝහල 0252225616
• හම්බන්තොට මහ රෝහල 0472220261
• පොලොන්නරුව මහ රෝහල 0272225334
• මඩකළපුව ශික්ෂණ රෝහල 0652222641/0652222261

#ජාත්‍යන්තර ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වන්නේ ජුනි 14 වෙනිදාය.ABO ක්‍රමයට රුධිර ගණ වෙන්කිරීම හදුන්වාදුන් කාල් ලෑන්ඩ්ස්ටයිනර් මහතාගේ උපන් දිනය යෙදී ඇත්තේ මෙදිනට වේ.

**********************************✊✊✊✌️✌️✋

#දැනට මානව රුධිරය යනු කෘතීම ලෙසට කිසිදු හෝ ආකාරයකින් නිපදවීමට නොහැකි තරලයක් වේ.රුධිරය ලබාදී දීර්ඝ කාලයක් එය ගබඩා කර තැබිය නොහැක ,එම නිසා මෙම රුධිර පාරවිලයන ක්‍රියාවලිය අඛණ්ඩ ක්‍රියවලියක් විය යුතුය .

#2018 වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාස වලදී ජාතික රුධිර පාරවිලයන සේවය විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදී.ඔවුන්ගේ ලේ බැංකු වල සංචිත කර ඇති රුධිරය ක්‍රමයෙන් අවසන් වන බවත් නැවතත් රුධිර සංචිත ලැබීම සෙමින් සිදුවන බවත්‍,ඉක්මන් රුධිර අවශ්‍යතාවයක් පැනනැගී ඇති බවත් ප්‍රකාශ කරන ලදී.😮😮😮😮😮

#සාමාන්‍යයෙන් උත්සව සමයේදී හා මැතිවරණ කාලවලදී ලේ බැංකු වලට ලැබෙන රුධිරය පරිමාව විශේෂයෙන් අඩු වන බව එම සේවයේ විශේෂ නිරීක්ෂණයක් විය.🤔🤔🤔

#රුධිරය සදහා ජාති,වර්ණ,කුළ,ආගම් යන කිසිදු භේදයක් නැත .ඔබ තුළ නිපදවී කිසියම් කාල සීමවකට පසුව හායනයට ලක්වෙන රුධිරය අත්‍යාවශ්‍ය කෙනෙකුට ලබාදීම මගින් ඔබ කරන්නේ උතුම් සත්ක්‍රියාවක් වේ.එය ඔබ කුමන ආගමේ වුවත් එය යහපත් ක්‍රියාවක් වේ.
🙏🙏🙏🙏🙏🙏🙏

***************************

D.H.S.L

Sunday, 2 September 2018

එකොළොස් වෙනි ලිපිය (#11)

========================
👍👍👍✋✋✋👏👏👌👌

මෙම ලිපි පෙළේ අවසාන ලිපිය වන මෙහි මාතෘකා තුනක් පිළිබඳව සාකච්ඡා කරයි .

• රුධිර පාරවිලයනය පිළිබඳව සමාජයේ ඇති මිත්‍යා මතවාද.

• රුධිර පාරවිලයන කදවුරක් (සායනයක්) සංවිධානය කරන ආකාරය.

• රුධිර පාරවිලයනය නිසා සමස්ත සමාජයට සිදුවන යහපත

රුධිර පාරවිලයනය සිදුකිරීම පිළිබඳව අසත්‍යය මතවාද රාශියක් සමාජය තුළ පවතී.ඒවා ගැන සලකමු ,

• රුධිරය දන්දීම මගින් සෞඛ්‍යට අහිතකර බව සහ අධික වශයෙන් කෘෂ හෝ මහත් වෙන බව

රුධිරය ලබාදෙන පුද්ගලයා සමබර ආහාර වේලක් දෛනිකව ලබාගන්නේ නම් ඔහුගේ සෞඛ්‍ය පිරිහීමකට ලක්නොවේ.මෙය සෑම පුද්ගලයයෙකුටම පාහේ අදාලවේ.
කෘෂ හෝ මහත් බව මෙයට කිසිසේත් අදාළ නොවේ.

• රුධිරය ලබාදීම හෝ රුධිරය ලබාගැනීම මගින් බෝවන රෝග වැලදිය හැකි බව.

ඕනෑම රුධිර සායනයකදී භාවිතා කරන සියළුම උපකරණ ජීවානුහරිත තත්ව යටතේදී භාවිතා කරයි.සිරිංජන් අනිවාර්යයෙන්ම එක්වරක් පමණක් භාවිතා කරයි.
මෙවැනි සායනය මගින් ලබාගන්නා රුධිරය ලේ බැංකුවේ/ජාතික රුධිර පාරවිලයන සේවයේ පරීක්ෂණාගාරය තුළදී සම්පූර්ණ ආසාදිත රෝග පිළිබඳව පරීක්ෂා කරයි .විශේෂයෙන්ම පෙර ලිපියේදී දැක්වූ පරිදි ප්‍රධාන රෝග පහක්(05) පිළිබඳව පරීක්ෂණ සිදුකරයි.

• පච්චා කෙටීමකින් පසුව කිසිදෙනෙක රුධිරය ලබාදිය නොහැකි බව.

සෑම විටම පච්චා කෙටීමකදී සෞඛ්‍ය සම්පන්න ලෙසට එය සිදුකිරිමට වගබලා ගන්න .ජීවානුහරිත උපකරණ මේ සදහා භාවිතා කරන්න .
පච්චා මෙන්ම රුධිරය පිටතින් ලබා ගන්නාවූ ශල්‍යකර්මයක් සිදුකලත් මාස 12 කට පසුව ඔබට රුධිරය දන්දීම සිදුකළ හැකිය .

• නිර්මාංශ පුද්ගලයින්ට රුධිරය ලබාදිය නොහැක.

ඔබ සමබර ආහාරයක් ලබාගන්නේ නම් ,නිර්මාංශ වුවත් ,මාංශ අනුභව කළත් රුධිරය ලබාදීම සදහා කිසිදු ගැටළුවක් ඇතිනොවේ.

• රුධිරය ලබාදීම වේදනාකාරී ක්‍රියාවලියක් බව.

එය අසත්‍යයක් වේ.රුධිරය ලබාගැනීමට සම සිදුරු කිරීම සාමාන්‍ය සිදුවීමක් වේ.රුධිරය ශරීරයේ සිට ඉවතට පැමිණීම කිසිදු වේදනාවක් ඇති නොකරයි.කෙනෙකුට අතේ සුළු හිරිවැටීමක් ඇති වී එය මගහැරී යයි.

ශ්‍රී ලංකාව තුළ රුධිර පාරවිලයන කටයුතු සිදුකරන එකම ආයතනය වන්නේ රුධිර පාරවිලයන සේවය යි.එහි සාමාන්‍ය ව්‍යවහාරය වන්නේ, ලේ බැංකුව යන්නයි.

(බැංකුවක් කිවුවට,ණය ගන්න යන්න නම් එපා)
😂😂😂😂

ජාතික මෙන්ම පෞද්ගලික රෝහල් වලට රුධිරය ලබාදෙන්නේ මෙම ලේ බැංකුව මගින් පමණයි .

සියළුම ජංගම රුධිර සායන පැවැත්වීම සදහා බලය ඇත්තේ මෙම ජාතික රුධිර පාරවිලයනය සේවයට/ ලේ බැංකුව ට පමණයි .

ජංගම රුධිර සායනයක් සංවිධානය කරන ආකාරය සලකා බලමු ÷

• රුධිර සායනය සදහා නියමිත දිනයක් යොදා ගැනීම සදහා ලගම පිහිටි රෝහලේ ලේ බැංකු කාර්‍යමණ්ඩලයේ මහත්ම, මහත්මීන් හමුවී සාකච්ඡා කරන්න .ඒ සදහා ඔබ ලිඛිත ඉල්ලීමක් කළ යුතුය .

• එහිදී ,විශේෂයෙන් ම එම ආයතනයන භාර මහජන සෞඛ්‍යය පරීක්ෂක මහතා( P.H.I ) හමුවී ,මේ පිළිබඳව සාකච්ඡා කරන්න.

• දිනයක් තීරණය කිරීමේදි විශේෂයෙන්ම වැඩි පුද්ගලයින් ප්‍රමාණයක් සහභාගී වන දිනයක් තෝරාගන්න.එය නිවාඩු හෝ සතියේ දිනයක් විය හැකිය.

මෙහිදී ,සායනයේ ඵලදායීතාවය රදා පවතින්නේ එයට සහභාගී වන පුද්ගලයින් සංඛ්‍යාව මතය.සාමාන්‍යයෙන් මෙවැනි සායනයක් සදහා අවම වශයෙන් පුද්ගලයින් 50 ක් වත් සහභාගී විය යුතුය .ඒ සදහා කදවුරේ සංවිධායකයින්ගේ සැබෑ කැපවීම වැදගත් වේ.

(ඩ්‍රැකියුලා උනත් කමක් නෑ , එක්කන් එන්න ලේ දන්දීමේ සායනයට )😈😈😈😏😏😏

• අනිවාර්යයෙන් සායනය පවත්වන්නේ පෙ.ව 9 - ප.ව 3 අතර කාලයේදී ,මෙම කෙටි කාළය තුලදී සියලු දෙනා සහභාගී කරගැනීමට වගබලා ගන්න.

• අදාල රුධිර සායනය පවත්වන ස්ථානය ඕනෑම කෙනෙකුට පහසුවෙන් ලගාවෙන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ.ප්‍රසිද්ධ ස්ථානයක් නම් වඩා සුදුසුයි.

• අධික ඝෝෂාකාරී බවින් තොර,දූවිලි,කැලි කසල නොපවතින ,තදබදය අවම ස්ථානයක් වීම වැදගත් .

• අදාල පාරවිලයනය සේවයේ උපකරණ රැගෙන ඒමට සංවිධායක මණ්ඩලය එම නිළධාරීන්ට උපකාර කළයුතුය .
*********************

අවසාන ලිපියෙන් නැවත හමුවෙමු.............

D.H.S.L
................................

දසවෙනි දිගහැරුම (#10)

======================

මෙහි මුල් කොටස නවවෙනි ලිපියේ(#9) දී අපි සාකච්ඡා කරන ලදී.

එහි දෙවෙනි මාතෘකාවේ සිට මෙයින් ආරම්භ කරමු...............................

2. රුධිර පාරවිලයනය සදහා රුධිර දායකයෙකුට පැවතිය යුතු සුදුසුකම් ÷

• වයස අවුරුදු 18 ඉක්මවූ මනා සෞඛ්‍ය සම්පන්න පුරුෂ හෝ ස්ත්‍රී ඕනෑම අයෙකු වීම.

• වයස අවුරුදු 60 ට වඩා වයස නොඉක්මවීම.

• ශරීර ස්කන්ධය 50 kg ට වඩා වැඩි වීම.

• රුධිරයේ හීමොග්ලොබින් ප්‍රමාණය 12.5 g/dl ප්‍රමාණයට වඩා අනිවාර්යයෙන්ම වැඩි වීම.

• අධිරුධිරපීඩනය,දියවැඩියාව ,හදවත් රෝග,පිළිකා,අක්මා සහ වකුගඩු රෝග ,ස්නායු රෝග,ඇදුම සහ නිදන්ගත රෝග වලින් යුක්ත නොවීම.

ඔබ රුධිරය ලබාදීමට පෙර අදාල රුධිර සායනයේ වෛද්‍යවරයා විසින් ඔබගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව හා විවිධ රෝගී තත්ව පිළිබඳව ප්‍රශ්න කිරීමේදී සත්‍ය තොරතුරු ලබාදිය යුතුය .
එහිදී ලබාදෙන පෝරමයේ ද නිවැරදි තොරතුරු සටහන් කළ යුතුය .

3. රුධිර පාරවිලයනය සදහා නුසුදුස්සෙකු වීමට හේතු ÷

• කෙදිනක හෝ හෙපටයිටිස් බී, හෙපටයිටිස් සී (සෙංගමාලය ) ,H.I.V Aids ,සිෆිලිස් සහ මැලේරියාව යන රෝග ඔබට සෑදී ඇත්නම් .

• අවසාන වරට රුධිරය ලබා දී මාස 4 ක් නොඉක්මවන්නේ නම් .

• අනාරක්ෂිත ලෙස විෂම ලිංගික හෝ සම ලිංගික හැසිරීම් ක්‍රම අනුගමනය කරන්නේ නම් .

• එන්නත් කටු භාවිතයෙන් මත්ද්‍රව්‍ය ලබා ගන්නේ නම් .

• රුධිරය ලබා දීමට මාස 3 ක කාළයක් ඇතුලතදී විදේශ ගතවීමක් සිදුවී ඇත්නම් .

• මාස 12 කට පෙර දී පච්චා කෙටීමක්,කන් විදීමක් හෝ තොල්,නාසය සිදුරු කිරීමක් සිදුකර ඇත්නම් .

• මාස 12 කට පෙර පිටතින් ඔබ රුධිරය ලබාගෙන ඇත්නම් .

• එම අවස්ථාව වන විට ඔබේ වසා ග්‍රන්ථි අශ්‍රිත කුද්දැටි ඉදිමීමකට ලක්වී ඇත්නම්

• මත්ද්‍රව්‍ය වලට ඔබ බොහෝ සෙයින් ඇබ්බැහි වූවෙක් නම්

• නිතර නිතර රාත්‍රියට උණ ගැනීම හෝ එම කාලය තුළ ශරීරයේ ස්කන්ධය බොහෝ සෙයින් අඩු වී ඇත්නම්

4.රුධිරය ලබාදීමෙන් පසුව රුධිර දායකයා කළ යුතු දෑ ÷

මෙහිදී ඔබ අනියත බියක් ඇති කර ගතයුතු නැත .ඔබගේ ශරීරයෙන් ලබා ගත්තේ රුධිරය 350 - 500 ml වැනි කුඩා රුධිර පරිමාවක් වේ.

• ලබාදී අවසන් වූ වහාම ඔබට තරමක තෙහෙට්ටු ගතියක් සහ ඔබ රුධිරය ලබා දුන්නේ මුල් අවස්ථා වලදී නම් ,ඔබට තරමක ක්ලාන්ත ස්වරූපයක් ගත හැකිය .

• රුධිරය ලබාදුන් විගස ඔබ අදාල සායනයෙන් පිටවී නොයා යුතුය .විනාඩි 15 - 20 ක පමණ සුළු කාලයක් තමන්ට පහසු ඉරියව්වකින් සිටිය යුතුය .එම කාලය තුළ අදාල රුධිර සායනයේ වෛද්‍ය හා හෙද කාර්යමණ්ඩලයේ ඝජු අධීක්ෂණයට ඔබ ලක්වනු ඇත .

• එම ලේ දන්දීමේ කදවුර මගින් ද ඔබට අවශ්‍ය සුළු ආහාරයක් හෝ දියරමය පානයක් ලබාදීමට කටයුතු කරනු ඇත .

• රුධිරය ලබාගත් ස්ථානයේ ඇලවූ ප්ලාස්ටරය පැය 12 ක් යනතෙක් නොගැලවිය යුතුය .

• ප්‍රධාන ආහාර වේලක් ලබාගැනීමට ප්‍රථම මත්පැන් වලින් වැලකිය යුතුය .

• ඔබ අඛණ්ඩව රුධිරය අදාල කාලසීමා තුළ ලබාදෙන අයෙකු නම් අනිවාර්යයෙන්ම ඔබ සමබල ආහාර වේලක් ලබාගත යුතුය .
ඔබ සහභාගි වන පළමු රුධිර සායනයෙන් ඔබට රුධිරය ලබාදීමේ සටහන්පතක් (කාඩ්පතක්) ලබාදෙනු ඇත .

එය සුරක්ෂිත කරගන්න ,සෑම රුධිරය ලබාදීමකින් පසුවම එම කාඩ්පතේ එය සටහන් වෙනු ඇත .

(අවසාන ලිපිය තුළ ඒ පිලිබදව සටහනක් යොදනු ඇත )

නැවත හමුවෙමු.................

D.H.S.L
*****************

Saturday, 1 September 2018

නවවෙනි දිගහැරුම (#9)

====================

මෙම ලිපි පෙළ ලිවීම ආරම්භ කිරීමට හේතුවූ මාතෘකාව ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ සිට ආරම්භ කරන්නෙමු.
එය නම්,රුධිරය පාරවිලයන සේවාව හෙවත් ලේ බැංකුව මගින් සිදුකරන රුධිර පාරවිලයන සේවය හා එයට ඔබගේ දායකත්වය කෙසේ විය යුතුද යන්නයි.

මාතෘකාව සාකච්ඡා කිරීම පසෙකලා මුල් ලිපියේ සිටම මේතාක් දුරට රුධිරය පිළිබඳව හැදින්වීමක් සිදුකරනු ලැබුවේ මේ මාතෘකාව පිලිබදව පාඨක ඔබගේ දැනුම වර්ධනය කිරීමේ අදහසෙනි.👏👏👏💪💪

ඔබගේ වෘත්තිය ,අධ්‍යාපන සුදුසුකම් කුමක් වුවත් මෙම මාතෘකාව වටහාගැනීමට පහසු වන ලෙසට "රුධිරය" පිලිබදව මූලික කරුණේ සිටම ලිපි පෙළ සම්පාදනය කරන ලදී.👉👈

රුධිර පාරවිලයනය යනු,
රෝගී තත්වයකදී සහ හදිසි අවශ්‍යතාවයක් නිසා නිසිආකාරයෙන් රුධිර ගණ ගැලපීමකින් පසුව හා නිසි සුදුසුකම් සැපිරූ රුධිර දායකයෙකු මගින් රුධිර ප්‍රතිග්‍රාහකයකුට රුධිරය ලබාදීමයි.

රුධිර පාරවිලයනයකදී,රුධිර දායකයාගෙන් ලබාගන්නාවූ රුධිරය එම රුධිරයේ විවිධ සංඝටක වලට වෙන්කරයි.එසේ වෙන්කිරීමෙන් පසුව ,රුධිර ප්‍රතිග්‍රාහකයා ට අවශ්‍ය වන රුධිර සංඝටකය පමණක් ජාතික රුධිරය පාරවිලයනය සේවය මගින් ලබා දීමක් සිදුකරයි.

මෙසේ ලබාගන්නාවූ රුධිරය පහත සංඝටක වලට වෙන්කරනු ලබයි,👇👇👉👉
1. රක්තාණු
2. ශ්වේතානු
3. රුධිරය පට්ටිකා
4. රුධිර ප්ලාස්මය
5. රුධිර කැටි ගැසීමේ සාධකය
රුධිරය පාරවිලයනය සිදුකරනු ලබන අවස්ථා සලකා බලමු,
1. හදිසි අනතුරු හා සංකීර්ණ ශල්‍යකර්ම වලට භාජනය වූ රෝගීන්ට🤕🤕
2. දරු ප්‍රසූතියෙන් පසුව සංකූලතාවලට ගොදුරුවන මවුවරුන්ට 😷😷😷
3. රක්තහීනතාවයෙන් පෙළෙන රෝගීන්ට😳
4. ඇතැම් පිළිකා රෝගීන් ට
5. තැලසීමියා රෝගීන්ට රුධිර හුවමාරුව සිදුකරයි 😳😳😳
6. ඩෙංගු රෝගීන්ට රුධිර පට්ටිකා පාරවිලයනය සිදුකරයි
7. හිමෝෆීලියා රෝගීන් සදහා රුධිර කැටි ගැසීමේ සාධකය පාරවිලයනය සිදුකරයි
8. විවිධ එන්නත් වර්ග සෑදීම සදහා "නිමි ප්‍රතිදේහ " ලබා ගැනීමක් සිදුවේ
මෙම රුධිරය ලබා ගැනීම හා රුධිරය ලබා දීම යන සම්පූර්ණ කාර්ය සිදුකරන්නේ ජාතික රුධිර පාරවිලයනය සේවය/ ලේ බැංකුව යි.රාජ්‍ය හා පෞද්ගලික යන සියළුම රෝහල් වලට රුධිරය ලබාදෙන්නේ මෙම ආයතනය මගින්වේ.සියළුම රුධිර පාරවිලයන කටයුතු නොමිලේ සිදුකරයි .

(ලේ දන්දීමේ කදවුරක් ආරම්භ කිරීම හා එය හා ලේ බැංකුවේ කාර්‍යභාරය පසු ලිපියකින් සදහන් කරන්නම්)

මෙම ආයතනය සතුව වෛද්‍ය මණ්ඩලයක්,හෙද කාර්ය මණ්ඩලයක් ,රසායනාගාර කාර්මික ශිල්පී මණ්ඩලයක් හා නව තාක්ෂණයෙන් යුත් පරීක්ෂණාගාරයන් ද පවතී.👍👍👌

ලේ බැංකුව මගින් ලැබෙන සියළුම රුධිර සාම්පල් වල ආසාදිත රෝග හා ව්‍යාධිජනකයින් පිළිබඳව පරීක්ෂණ සිදුකරන අතර විශේෂයෙන් බෝවන ආසාධිත රෝග පහක් පිළිබඳව පරීක්ෂණ කරයි.ඒවානම් ,
1. හෙපටයිටිස් බී ( සෙංගමාලය )
2. හෙපටයිටිස් සී (සෙංගමාලය )
3. H.I.V
4. මැලේරියාව
5. සිපිලිස්
එක් වරකදී රුධිර පාරවිලයනයකදී රුධිරය
350ml - 450 ml පරිමාවක් ලබා ගන්නා අතර ඔබ සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් රුධිරය දන් දෙන පුද්ගලයෙක් නම් මාස හතරකට(04) වතාවක් රුධිරය ලබාදිය හැක.

අපේ අධ්‍යනයේ පහසුවතකා රුධිර පාරවිලයන ක්‍රියාවලිය කොටස් හතරකට (04) බෙදාගනිමු.
👇👇👇👆👆
1. රුධිර පාරවිලයනයට පෙර රුධිර දායකයාගේ සූදානම
2. රුධිර පාරවිලයනය සදහා බලපාන සුදුසුකම්
3. රුධිර පාරවිලයනය සදහා නුසුදුස්සකු වීමට බලපාන හේතු
4. රුධිර පාරවිලයනයෙන් පසු රුධිර දායකයා කළ යුතු දෑ
************************

1. රුධිර පාරවිලයනයට පෙර දායකයා ගේ සූදානම ÷
• අවම වශයෙන් පැය 6 ක හෝ නින්දක් ලබාගෙන සිටීම😴😴😴
• රුධිරය ලබා දීමට පෙර පැය 4 කට පෙර සමබර ආහාර වේලක් ලබාගෙන සිටීම.
• ඔබ දුම්පානය කරන්නේනම් ,(😠😠😠😡😡) රුධිරය ලබාදීමට පෙර පැය 2 කට පෙරවත් එයින් වැලකිය සිටිය යුතුය .
• ඔබ මත්පැන් පානය කරන්නේනම් ,(😡😡😠) අවම වශයෙන් දිනකට පෙරවත් එයින් වැලකී සිටිය යුතුය .

ඊලඟ ලිපියෙන් නැවත හමුවෙමු...............👉👈

D.H.S.L
**********************

Friday, 31 August 2018

අටවෙනි දිගහැරුම (#8)

👍👍👍👌👌👌
====================*********

#රුධිර පාරවිලයනයේදී රීසස් සාධකය වෙනස් වීම නිසා සිදුවන රුධිර ශ්ලේෂණය වීම් පිළිබඳව හා අවිවාහක අයවළුන් සදහා විවාහයකදී අත්‍යාවශය වන රුධිර පොරොන්දම් ගලපන ආකාරය පිලිබදව මෙහිදී සාකච්ඡා කරයි.

#රුධිර ගණ පිලිබදව අවසාන මාතෘකා ව මෙය වන අතර ඉන් පසුව ජාතික රුධිර පාරවිලයන සේවය/ලේ බැංකු සම්බන්ධ රුධිරය පාරවිලයන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ.

#මෙම සාකච්ඡාව සදහා හයවෙනි ලිපියේ(#6) දී අප ඉදිරිපත් කළ ගැටළු දෙක යොදාගනිමු.
👇👇👇👇👇👇👇👌👌

https://m.facebook.com/story.php?story_fbid=566334907118716&id=547262199025987

• යම් අයෙකුට පළමු වතාවේදී රුධිරය පාරවිලයනය කර නැවතත් අවශ්‍යතාවක් නිසා දෙවනි වර රුධිරය පාරවිලයනය කිරීමේදි එම රුධිරය ශ්ලේෂණය වී රෝගියාට අසාධ්‍ය වේ.🤒🤒🤕
#මෙයට හේතුව වන්නේ ,රීසස් සාධක නොසලකා රුධිරය පාරවිලයනය සිදුකිරීමයි .
අවස්ථා දෙකේදීම ABO ක්‍රමයට අනුව රුධිර ගණ නිවැරදි විය හැකිය.

#නමුත් ,අවසාන ප්‍රතිඵලය හා රෝගය නිරීක්ෂණය මගින් වැටහෙන්නේ,පළමු අවස්ථාවේදී රෝගියාට පාරවිලයනය කල රුධිරයේ රීසස් සාධකය Rh(+) වේ,එහිදී රෝගියාගේ රුධිරයේ රීසස් සාධකය Rh(--) වේ.

#සිරුරට පළමු අවස්ථාවේදී ආගන්තුක වූ Rh(+) ද්‍රව්‍යක් ඇතුළු වීම නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් ප්‍රති Rh සෑදීමක් සිදුකරයි.

#නැවතත් දෙවනි වරද රීසස් සාධකය නොසලකා Rh(+) රුධිරය රෝගියාට ලබාදීමේදී මෙය ප්‍රති Rh ක්‍රියාකාරී වී ලබාදුන් ආගන්තුක ද්‍රව්‍ය අඩංගු රුධිරය ශ්ලේෂණය කරයි.🤕
******************

#රීසස් සාධකය මගින් රුධිර ශ්ලේෂණය සදහා බලපාන්නේ වැරදි ලෙස රුධිර පාරවිලයනය සිදුකරන පළමු අවස්ථාවේදී නොව දෙවෙනි අවස්ථා වේදීය.මෙහිදී පළමු අවස්ථාවේදී ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් ප්‍රති Rh සෑදීමක් සිදුකරයි.

• රුධිර පොරොන්දම් ගැලපීම යනු,💘💘
#විවාහයකට පෙර එම දෙදෙනා මගින් තම තමන්ගේ රුධිරයේ පවතින රීසස් සාධකය දැනගෙන සිටීමයි.
රුධිර ගණයට වඩා මෙහිදී රුධිරයේ
Rh(+) /Positive හෝ Rh(--) / Negative ලෙසට දෙදෙනාම දැන ගැනීම වැදගත් වේ .

#දෙදෙනාගේ රුධිර ගණය කුමක් වුවත් ,මෙම අවස්ථාවේදී වැඩි අවධානය ක් යොමු කළ යුත්තේ රීසස් සාධකය පිළිබඳව වේ.

#මෙහිදී අවධානම් සහගත අවස්ථාවක් ලෙසට පවතින්නේ කාන්තා පාර්ශවයේ රුධිරයේ රීසස් සාධකය Rh(--) වී පුරුෂ පාර්ශවයේ රුධිරයේ රීසස් සාධකය Rh(+) වීමේ අවස්ථාව පමණි .

#එවැනි අවස්ථා වලදී ඇතිවන ගැටළුකාරී තත්ව හා ඒවාට නූතන වෛද්‍ය විද්‍යාත්මක පිළියම් පිළිබඳව තොරතුරු පහතින් පවතී.

#විය යුත්තේ ,විවාහයට පෙර තම සහකරු හෝ සහකාරියගේ රුධිරයේ රීසස් සාධකය පිළිබඳව දැනුවත් වීම පමණි .

#මෙසේ විවාහක දෙදෙනෙකු තමන්ගේ රීසස් සාධකය නොසලකා හැරීම නිසා පහත ආකාරයේ ගැටළුකාරී සංසිද්ධි වල මුහුණ දිය හැක (වර්තමානයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව නිසා මේ පිළිබඳව ගැටළු ඇති නොවේ.)

• විවාහයෙන්, ගර්භනී මවකට පළමු දරුවා ලැබීමෙන් පසුව නැවතත් දෙවෙනි දරුවා ගැබ්ගෙන ටික කාලයකට පසුව එම කළලය හෝ භ්‍රණය ගබ්සාවීම .
#මෙවැනි සංසිද්ධීන් සිදු වන්නේ,විවාහක මව් පාර්ශ්වයේ රුධිර ගණයේ රීසස් සාධකය Rh(--) වී,පීතෘ පාර්ශවයේ රුධිරයේ රීසස් සාධකය Rh(+) වීම නිසාය.

#මෙහිදී පීතෘ පාර්ශවයේ රීසස් සාධකය Rh(+) වීම නිසා සෑදෙන කළලයේ රුධිරයේ රීසස් සාධකය Rh(+) වීමේ සම්භාවිතාවයක් ඇත .දරු ප්‍රසූතියේදී පෙකෙණි වැල කැපීම හා කළල බන්ධය ගැලවී යාමේදී දරුවාගේ රුධිරය ස්වල්පයක් මාතෘ රුධිරය සමග එකතුවීම සිදුවේ. 🙂🙂

#එහිදී ප්‍රථම වතාවට මාතෘ රුධිරය තුල ප්‍රති Rh සෑදීම සිදු වේ .දෙවෙනි වරට නැවතත් ගැබ්ගැනීමකදී එම කළලයේ රුධිරයේ රීසස් සාධකය Rh(+) වීම නිසා(එසේ වීමේ ඉහල සම්බාවිතාවයක් ඇත ) මවගේ රුධිරයේ තිබෙන ප්‍රති Rh මගින් ආගන්තුක ද්‍රව්‍යක් ලෙසට කළල රුධිරය හදුනාගෙන කළල රුධිරය ශ්ලේෂණය වීම නිසා කළලය ගබ්සා වේ.

#නමුත් ,නූතනයේදී මෙවැනි දේවල් වලක්වාගැනීමට පලමු දරු ප්‍රසූතියෙන් පසුව වෛද්‍යවරුන් විසින් මවගේ හා පියාගේ රුධිරයේ රීසස් සාධක පරීක්ෂා කර බලා පෙර පරිදි අවධානම් සහගත තත්වයක් පවතීනම් ,මවගේ රුධිරයේ ප්‍රති Rh නොසෑදෙන ආකාරයට එන්නතක් මවට ලබාදෙනු ලැබේ.
එහිදී දෙවන දරු ප්‍රසූතිය සදහා ගැටළුවක් ඇතිනොවේ.
*************************

(ලිපිය අවසානයේ ඇති පලමුවන රූප සටහන මගින් එම ක්‍රියාවලීන් නිරූපණය කර ඇත ).

#නවවෙනි ලිපියෙන් නැවත හමුවෙමු..........
***************
👌👌👌👌👌👌👍👍👍👍👍🙂🙂🙂

D.H.S.L

























"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...