Friday 28 September 2018

හෘදයාබාධ වලට ගුණදායක " ඇඹරැල්ලා " පිළිබඳව ආයුර්වේද මතය.

සාමාන්‍ය ජීවිතයේදී බටහිර වෛද්‍ය විද්‍යාත්මක සංකල්ප වලින් බැහැරව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව පිළිබඳව කරුණු දැක්වීම මෙම ලිපියේ අරමුණ වේ.

සාමාන්‍ය ගෘහාශ්‍රිත ජීවිතයේදී පරිහරණය කරන "ඇඹරැල්ලා" ශාඛයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කම පිළිබඳව හදාරමු.

"ඇඹරැල්ලා"යනු,එළවළුවක් ලෙසට ව්‍යාංජන වලටත්,පළතුරක් ලෙසට අමුවෙන් හෝ ඉදීමෙන් වුවත් අනුභව කල හැකි ශාඛයකි.මෙය ඉතා ඖෂධීය ශාඛයක් වේ.


මුලින්ම "ඇඹරැල්ලා" ශාඛයේ නාමය ව්‍යවහාර වූ ආකාරය පිළිබඳව හදුනාගනිමු.

ඇඹරැල්ලා සංස්කෘත භාෂාවේ "අභ්‍රාප්‍රස" සහ "අද්වභෝගය" යන නම්වලින් හදුන්වයි.මෙම සංස්කෘත භාෂාවේ "අද්වභෝගය" ලෙසට හදුන්වන්නේ "පයින් ගමන් කරන්නාගේ ආහාරය යන්නයි".එනම්,අතීතයේදී පයින් දුර ගමන් යනවිට දී ආහාරයක් වශයෙන් විනෝදකාමී ලෙසට ඇඹරැල්ලා ආහාරයට ගත්බව පැවසේ.

අතීත ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන්නව පැවති "ඇඹරළුව" ගම්මානයේ අධික වශයෙන් විශාල අස්වැන්නක් සෑදුනු ශාඛයක ගෙඩි වර්ගයක් "ඇඹරැලු" ලෙසට හදුන්වන ලදී.මෙය ව්‍යවහාරයේදී පසු කාලීනව ඇඹරැල්ලා ලෙසට හදුන්වන ලදී.

ඇඹරැල්ලා වල උද්භිත විද්‍යාත්මක නාමය Spondias dulcis ලෙසට හදුන්වයි.

ඇඹරැල්ලා ඵලය(ගෙඩිය),ඇඹරැල්ලා දළු,ඇඹරැල්ලා ගසේ පොතු මෙන්ම ඇඹරැල්ලා ගසේ මැලියම් ද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඖෂධ වර්ග සෑදීම සදහා යොදාගනී.

ඇඹරැල්ලා ගෙඩිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තය.

• ඇඹරැල්ලා ලෙල්ල හා ඒ අවට මාංසල කොටස.

මෙම කොටස තරමක් ඇඹුල් රසයකින් යුක්ත වේ.

• ඇඹරැල්ලා ඇටය හා ඒ අවට ඇති මාංසල කොටස

මෙය තුළ සාපේක්ෂව ඇඹුල් රස අඩුය.

ඇඹරැල්ලා ගසේ දළු මගින් යුෂ ලබාගැනීමක් ,ඇඹරැල්ලා ගෙඩි වල පොතු මගින් ක්ෂාය සෑදීමක් ද සිදුකර විවිධ රෝගාබාධ සදහා භාවිතා කරයි.ඇඹරැල්ලා ගසේ මැලියම් දුම්ගැසීම මගින් විවිධ රෝග සදහා ප්‍රතිකාර වශයෙන් යොදාගනී .

ඇඹරැල්ලා වල මාංසලමය කොටස ආහාර නොදිරවීම හා ආහාර නොපැසීම හේතුවෙන් ඇතිවන උදරාබාධ තත්වයන් සදහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වේ.

අමු ඇඹරැල්ලා ගෙඩි තරමක ඇඹුල් රසයකින් හා කසට රසයකින් යුක්ත වන අතර ඉදුණු ගෙඩි මිහිරි කසට රසයකින් යුක්ත වේ.අමු හා ඉදුණු ඇඹරැල්ලා ගෙඩි වල ඖෂධීය ගුණය එකිනෙකට වෙනස් නිසා ඒවා විවිධ රෝග සදහා ඖෂධ වශයෙන් යොදාගනී.

අමු ඇඹරැල්ලා උෂ්ණ ගුණයකින් යුක්ත වන අතර ඉදුණු ඇඹරැල්ලා සීත ගුණයකින් යුක්ත වේ.එමනිසා ,උෂ්ණාධික රෝග බහුලව පවතින පුද්ගලයින් අමු ඇඹරැල්ලා අනුභවය පිළිබඳව සැලකිලිමත් විය යුතුය .

ඉදුණු ඇඹරැල්ලා ආහාරයට ගැනීම මගින් වාතදෝෂ,පිත්ත දෝෂ හා රක්ත දෝෂ වලින් ඇතිවන රෝගාබාධ වලින් සුවවිය හැකිය .පිත්ත දෝෂය මගින් විවිධ අජීර්ණ තත්වයන් ඇතිවේ,ඒවා සුවකිරීම සදහා මෙම ඉදුණු ඇඹරැල්ලා යොදා ගත හැකිය .

විටමින් ඌනතාවය හේතුවෙන් සෑදෙන සමහර රෝග සදහා හොදම විටමින් අඩංගු ආහාරයක් ලෙසට ඇඹරැල්ලා යොදාගත හැකිය .

ඇඹරැල්ලා ශාඛය සතුව විෂනාශක ගුණයක් ඇත.විශේෂයෙන්ම බටහිර වෛද්‍ය ශිල්ප නොපැවති අතීතයේදී සිදුවූ යුධගැටුම් වලදී ඊතල ඇනීමෙන් ඇතිවූ තුවාල සුවකර ගැනීම සදහා ඇඹරැල්ලා ගෙඩි භාවිතා කරන ලදී.

හෘදරෝගීන් සදහා ,මෙන්ම හෘදයාබාධ ඇතිවීම වැලැක්වීම සදහා ද ඇඹරැල්ලා ආහාරයට ගැනීම හිතකර වේ.

කුෂ්ඨ රෝග ආදී සමේ රෝග වැලදුනු විට අමු ඇඹරැල්ලා නුසුදුසු අතර ඉදුණු ඇඹරැල්ලා ආහාරය සදහා ප්‍රත්‍යක්ෂ වේ.ඊට හේතුව වන්නේ බොහෝ සමේ රෝග යනු උෂ්ණාධික රෝග වන බැවිනි.

ඉදුණු ඇඹරැල්ලා ගෙඩි ශරීරය දුර්වල කෙනෙකු සදහා සුදුසු වේ .එමගින් බලය වර්ධනය හා ශරීරය පෘෂ්ටිමත් කිරීම සිදුකරවයි.කාම ශක්තිය වර්ධනය සදහා ද ඉදුණු ඇඹරැල්ලා සුදුසු ඖෂධීය ආහාරයක් වේ.

ගැස්ට්‍රයිටිස් රෝගය හෙවත් අම්ල පිත්ත රෝගයේදී ඇඹරැල්ලා පොතු මගින් ක්ෂාය කර පානය කිරීම සුදුසු වේ.කක්කල කැස්ස හා දිගු කාලීන කුෂ්ඨ රෝග වලදී පැසුණු ඇඹරැල්ලා ගෙඩියක පොතු ඉවත්කර ගෑරුප්පුවකින් සිදුරු කර මීපැණි වල බහා දිනකට එක බැගින් අනුභවය මගින් එවැනි රෝග සුවකළ හැකිය.

කන් කැක්කුම ඇති අවස්ථා වලදී ඇඹරැල්ලා කොළ වල යුෂ ගෙන කනේ බාහිරින් ආලේප කිරීම කළ හැකිය .අධික රුධිර පීඩනය සදහා ඇඹරැල්ලා දළු ගුණාත්මක ඖෂධයක් වේ.

දියවැඩියාව හෙවත් මධුමේහය රෝගය සදහා ඇඹරැල්ලා ගෙඩි ගුණදායක වන අතර,ඇඹරැල්ලා ගසේ මැලියම් වලින් දුම් ඇල්ලීම මධුමේහ රෝගීන් සදහා යහපත් වේ.

අධික රුධිර පීඩනය සදහා ඇඹරැල්ලා දළු මෙන්ම ඇඹරැල්ලා ගෙඩිද උචිත ඖෂධයක් වේ .

තැල්මක් ඇති අවස්ථාවකදී ඇඹරැල්ලා ගසේ පොතු සූරා එය ලුණු වතුරෙන් අඹරා ගෑම මගින් තැල්ම අඩු වීමක් සිදුවේ.කාන්තාවන්ට ඇතිවන ශ්වේත ප්‍රදරමය තත්වයේදී (යෝනි මාර්ගයෙන් සුදු පැහැති ස්‍රාවයක් නිතර පිටවීම) ඇඹරැල්ලා පොතු මගින් සාදාගන්නා ක්ෂාය පානය කිරීම සුදුසු වේ.

බෙල්ලේ ගණ්ඩමාල අවස්ථාවේදී ඇඹරැල්ලා ගසේ පොතු අරළු හා අමු ඉගුරු සමව ගෙන දෙහි ඇඹුලින් අඹරා එහි යුෂ බෙල්ලේ ආලේප කිරීම මගින් රෝගය සුවවේ.

සෙම තත්වය අධික වී සෙම් ගෙඩි අධික වී උගුර ඉදිමි ඇතිවිට ඇඹරැල්ලා ගසේ පොත්ත ගෙන එහි සුදු පැහැති කොටස සූරා ඉවත් කර එයට ලුණු ,ගම්මිරිස් හා අමු ඉගුරු එකතු කර හොදින් තලා නස් නාරං යුෂයෙන් කකාරවා උගුරේ බාහිරින් ආලේප කරන්න .ප්‍රත්‍යක්ෂ වශයෙන්ම උගුරේ ඉදිමුම් තත්වය සමනය වේ.

මේසා ගුණ ඇති ඇඹරැල්ලා චට්නියක් ලෙස හා අච්චාරුවක් ලෙස ඔබට ආහාරයට ද ගත හැකිය .

••••••••••••••••••••••••••••••••••••

D.H.S.L

Facebook ඔස්සේ නවතම ලිපි පරිශීලනය කිරීම සදහා " දිනපොත - Dairy " පිටුව සමග මෙතනින් එකතු වෙන්න

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...