Thursday 4 October 2018

ගැස්ට්‍රයිටිස් / ආමාශයික ප්‍රදාහය ( Gastritis )

අම්ල පිත්ත රෝගය (Hyper Acidity) පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම 
❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁

"බඩේ ගෑස්
හිතේ කහට
දණිස්සේ වතුර
ලේ වල සීනි "

වර්තමාන සමාජයේ ඇති සමහර බෝනොවන රෝගී තත්ව මෙලෙස කෙටිකර දැක්විය හැකිය .මේවා එකතු කර ඔබට අවශ්‍ය නම් රසවත් තේ කෝප්පයක් වුවද සාදාගත හැකිය.
❅❅❅❅❅❅❅❅❅❅❅❅❅

ඉහත සදහන් කල ආකාරයට ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය වර්තමානය සමාජයේ කෙතරම් බහුලවීද යත් එහි ආමන්ත්‍රණයේ පහසුව තකා සමාජය තුළ රෝගයේ නම "ගෑස්" හෝ "ගෑස්ටික්" ලෙසට වෙනස් වී ඇත.මෙම ගැස්ට්‍රයිටිස් රෝගය සදහා මූලිකම හේතුව වන්නේ කාර්‍යබහුල ජීවන පැවැත්මයි.

බොහෝ අවස්ථා වලදී සමහර අයවළුන් ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය හා අම්ල පිත්ත රෝගය එකක් ලෙසට සලකයි.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අම්ල පිත්ත රෝගය(Hyper acidity ) පුළුල් පරාසයක් ඇති රෝගයක් වන අතර එහි එක් අංශයක් ලෙසට ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය හැදින්විය හැකිය.ගැස්ට්‍රයිටිස් රෝගය පිළිබඳව හැදෑරීමට වඩා එහි මූලික/ප්‍රධාන ආකාරය වන අම්ල පිත්ත රෝගය (Hyper acidity) ගැන හැදෑරීම සුදුසු වේ.


අම්ල පිත්ත රෝගය යනු,ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව සෑදෙන රෝගී තත්වයකි.බොහෝ අවස්ථා වලදී එම රෝගයටම ආවේණික වූ රෝගී ලක්ෂණ පවතී.මෙම රෝගය සදහා මූලික හේතුව වන්නේ, නූතන කාර්‍යබහුල ජීවන ක්‍රමයයි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අම්ල පිත්ත රෝගය දෙයාකාර වේ.මෙම දෙයාකාරයට අනුව සෑදෙන රෝගී ලක්ෂණ ද දෙයාකාර වේ.

1. ඌර්ධවගත අම්ල පිත්තය

2. අධෝගත අම්ල පිත්තය

අම්ල පිත්තය යනු ,ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයක් වේ.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව රෝගයක් හටගැනීම සිදුවන්නේ තුන්දොස් කිපීම මගිනි.අම්ල පිත්ත රෝගය පිත්තජ රෝගයක් වන අතර අවශේෂ කරුණු ලෙසට සෙම සහ වාතය කිපීමක්ද සිදුවිය හැකිය .

ශරීරයේ පවතින පිත දෙයාකාර වේ.

• ප්‍රකෘති පිත

මෙය දේහය හොදින් පරිපාලනය කරයි.මෙය කටුක බවකින් යුක්තය .සිරුරට සැප ලබාදෙයි.

• විකෘති පිත

වඩාත් අම්ලාදික වේ.පිත්තජ රෝග ඇතිවිමට දායක වේ.අම්ල පිත්ත රෝගය සෑදීම සදහා දායක වන්නේ මෙම විකෘති පිත වේ.එනම් ,අම්ල පිත්ත රෝගයේදී කෝප වන්නේ මෙම විකෘති පිතයි.මෙය අම්ලාදික නිසා "ඇඹුල් වූ පිත" , අම්ල පිත්තය ලෙසට ව්‍යවහාර වී ඇත.

අම්ල පිත්ත රෝගය සෑදීම සදහා ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් පවතී.මෙම හේතු නිසා විකෘති පිත කිපීමක් සිදුවේ.

1. එකිනෙකට විරුද්ධ ආහාර වර්ග අනුභවය

2. නරක් වූ ආහාර වර්ග හෝ විශේෂ රසකාරක වර්ග යොදා සාදන ලද ආහාර ශීතකරණ වල තබා කල්ගත වී ආහාරයට ගැනීම

3. සැර සහ ඇඹුල් වර්ග වැඩි ආහාර නිතර ආහාරයට ගැනීම

4. විදාහී ආහාර හෙවත් සැර / දැවිල්ල ඇති කරන ආහාර නිතර අනුභවය

( රතු මිරිස් යෙදු ආහාර ,විනාකිරි යෙදූ ආහාර ,අබ යෙදූ ආහාර ආදිය )

5. මත්පැන් ,කිරෙන් තැනූ මෝරු ආදි පිත ඇවිස්සීමට ලක්කරන ආහාර අනුභවය

මෙම හේතු වලට අමතරව වර්තමානය ජනජීවිතය ආශ්‍රිත හේතු මගින්ද බොහෝ අවස්ථා වලදී මෙම අම්ල පිත්ත රෝගි තත්වය ඇතිවීම හෝ එය උත්සන්න වීම සිදුවිය හැකිය .

1. ක්ෂණික ආහාර වර්ග සහ කෘතීම බීම වර්ග වැඩිවාර ගණනක් භාවිතා කිරීම.

2. බටහිර හෝ ආයුර්වේද ඖෂධ නිසි වෛද්‍ය නිර්දේෂයකින් තොරව භාවිතා කිරීම.

3. විෂ සහිත රැකියා ආශ්‍රිතව සේවය කිරීම.

4. මත්පැන් පානය දුම් පානය හා අන්තරායකර ඖෂධ (මත්කුඩු වර්ග ගංජා,කංසා.....) වර්ග භාවිතය .

5. නිසි වේලාවට ආහාර නොගැනීම සහ ආහාර ගෙන දිරවීමට පෙර වරින් වර ආහාර ගැනීම.

 ( ප්‍රධාන ආහාර වේල් අතරතුර ගන්නා වූ ක්ෂණික ආහාර )

6. රාත්‍රියේදී නිදි වැරීම සහ දහවල් කාලයේදී අනවශ්‍ය ලෙසට නිදාගැනීම.

7. මානසික ආතතිය අධික වශයෙන් දීර්ඝ කාලයක් පැවතීම .

මෙවන් හේතු මගින් අම්ලපිත්ත රෝගය පමණක් නොව තවත් බෝ නොවන රෝග රැසකට පදනමක් වේ.

ඌර්ධවගත අම්ලපිත්ත රෝගය සදහා විකෘති පිත මෙන්ම සෙමද සම්බන්ධ වේ.අම්ල පිත්ත රෝගයේ බොහෝ දෙනා අතර වඩා සුලභ ආකාරය වන්නේ මෙම ඌර්ධවගත අම්ල පිත්ත රෝගී තත්වයයි.ඌර්ධවගත අම්ලපිත්ත තත්වය අමාශය හා ඉන් ඉහල ප්‍රදේශ තුළ ක්‍රියාකරයි.එනම් ,ආමාශය සහ ගලනාලය / අන්නස්‍රෝතය ආශ්‍රිතව වේ.

සෙම සමග එකතු වූ විකෘති පිත ඌර්ධවගත අම්ලපිත්ත රෝගයේදී විවිධ රෝග ලක්ෂණ ඇතිකරයි.

• සෙම සහිත වමනය ඇතිකිරීම.(අධික සෙම තත්වයක් පවතී )

• ඔක්කාරය සමග උගුරට ඇඹුල් රසක් දැනේ.

• බඩේ,පපුවේ හා උගුරේ තද බල දැවිල්ලක් ඇතිකරයි.

• තදබල හිසේ කැක්කුමක් ඇතිවිය හැකිය.

• අත් පාද වල දැවිල්ලක් හා උණ ගතියක් ඇතිවේ .

• ශරීරය කැසීම සහ ඇගේ පළු දැමීමක් විය හැකිය.

අධෝගත අම්ලපිත්ත රෝගය ඌර්ධවගත අම්ලපිත්ත රෝගය මෙන් සුලභ රෝගයක් නොවේ.මෙහිදී සෙම සම්බන්ධ නොවී විකෘති පිත මගින් පමණක් රෝගය ඇතිවී රෝගී ලක්ෂණ පෙන්නුම් කරයි.

• පිපාසය

• දැවිල්ල හා කැරකිල්ල

• ඔක්කාරය

• බඩගිනි අඩුබව

• දහදිය ගැලීම හා සමේ බිබිලි ඇතිවීම

• ශරීරය කහ පැහැති වීම.

මුලින්ම මෙම අම්ල පිත්ත රෝගය මුල් අවස්ථාවේදී දැනගත් විට ආයුර්වේද වෛද්‍යවරෙක් හමුවී වෛද්‍ය ප්‍රථිකාර ලබාගැනීම සුදුසු වේ.

ඔබට අම්ලපිත්ත රෝගී තත්ව ඇත්නම් පලමුව කල යුත්තේ වෛද්‍ය උපදෙස් පැතීමයි .ඊට හේතුව වන්නේ ඔබට එම රෝගී තත්ව හමුවේ වෙනත් රෝගයක් පැවතිය හැකි වීමයි.උදාහරණ ලෙසට පහත රෝග දැක්විය හැකිය .

1. හෘදයාබාධ

2. ආමාශයේ තුවාල හෝ වණ

3. ආමාශයේ පිළිකා

4. අග්න්‍යාසදාහය

එවැනි ප්‍රථිකාර ලබා ගන්නා රෝගියෙක් මෙන්ම දැනට නීරෝගීව සිටින අයෙකු වුවද නිසි පිලිවෙත් අනුව ජීවත්වන්නේ නම් අම්ලපිත්ත රෝගයෙන් තොර නීරෝගී ජීවිතයක් ගත කළ හැකිය .එවැනි පිළිවෙත් කිහිපයක් පහත පරිදි වේ.

• දවසේ ප්‍රධාන ආහාර වේල් තුන නිසි වේලාවට මනාකළමණාකාරීත්වයක් ඇතිව ගැනීම .

• ප්‍රධාන වේල් අතරතුරදී මද උණුසුම් උණු වතුර පානය කිරීම.

• ප්‍රධාන ආහාර වේල් අතරතුරදී බඩගින්නක් නොදැනේ නම් කිසිදු ආහාරයක් නොගන්න,එසේ ආහාරයක් ගතයුතු නම් පමණක් අළුත සෑදූ තෙල් රහිත ආහාරයක් අනුභව කරන්න .(ඒ සමගම ජලය පානය කිරීම අත්‍යාවශ්‍ය වේ.)

• ක්ෂණික ආහාර ,කෘතීමව බීම වර්ග ,රසකැවිලි වර්ග ,තෙල් සහිත ආහාර,අධික සැරක් සහිත ආහාර,ඛේථ ග්‍රන්ථි උද්දීපනය කරන බබල්ගම් වර්ග ආහාරයට නොගන්න .

• තේ , කෝපි පානය අවම කරන්න ,ඒ වෙනුවට පලතුරු , ඔසුපැන් හෝ ජලය සදහා හුරුවන්න.

• රාත්‍රියේ නිදි වැරීම හා අධික කුසීත බවින් දහවල නිදාගැනීමෙන් වලකින්න.

• ආතතිය පාලනය කරගන්න .

ආතතිය දුරලීම සදහා සංගීතයට සවන් දිම,භාවනා කිරීම,පොත් කියවීම සහ තමන්ට උචිත විනෝදාංශයකට යොමුවන්න .

• තද අව්වේ නොසිටින්න.

• මලපහ ,මුත්‍රා පිටනොකර නොසිටින්න.

• අථි මෛථුතන්‍යයෙන් වලකින්න .

අම්ලපිත්ත රෝගය සදහා විශේෂ ආහාර වර්ග කීහිපයක් අගුණ වේ.ඒවනම් ,

• අධික තෙල්,වියළි මිරිස් හා කුළුබඩු යෙදු ආහාර

• ඇඹුල් ආහාර

• අබ , විනාකිරි , රට දෙල් , උෂ්ණ මාළු , කරවල ,ගෝව,මුරුංගා,මාළුමිරිස්,අච්චාරු,ලුණුදෙහි,තක්කාලි ,හරක් මස්,ජාඩි,චොකලට් වර්ග ,පාන්පිටි ආහාර

අම්ලපිත්ත රෝගීන් සුවපත් වීමට සහ නීරෝගී පුද්ගලයින් සදහා තවදුරටත් රෝගය නොසෑදීමටද ප්‍රත්‍ය / සුදුසු ආහාර වර්ග පවතී.

• එළකිරි

• සියළු පළා වර්ග

අමුවෙන් ආහාරයට නොගත යුතුය .හොදින් පිසගෙන ආහාරයට ලබාගන්න .

• තැඹිලි ,කුරුම්බා ,කැකිරි ,කොහිල ,පොලොස් ,කවුපි ,මුංඇට ,අනෝදා ,ගම්මිරිස් ,සුදුළූනු ,උලුහාල් ,බතල ,වට්ටක්කා,පතෝල, වැටකොළු,අළුකෙසෙල්

මෙම අම්ලපිත්ත රෝගය සදහා ප්‍රථිකාර ගැනීම සිදුනොකලහොත් පිත්ත අම්ලය මගින් ආමාශ බිත්තිය තුවාල වී වණ හටගැනීමක් සිදුවේ.එය රක්තහීනතාවය මෙන්ම පිළිකා තත්ව බවට පත්විය හැකිය .

ආයුර්වේද වෛද්‍ය විද්‍යවේදී විවිධ ක්ෂාය වර්ග ,චූර්ණ මගින් මෙම තත්වය ප්‍රත්‍යක්ෂ වශයෙන් සුවකළ හැකිය .අවශ්‍ය වන්නේ රෝගියා අප්‍රත්‍යය හැසිරීම් වලින් වැලකීම හා නිසි ආකාරයට ඖෂධ වර්ග පිළිපැදීමයි.

D.H.S.L

✿✿✿✿✿✿✿✿✿✿

Facebook ඔස්සේ " දිනපොත - Dairy " පිටුව සමග සම්බන්ධ විම සදහා මෙතනින් (✿✿✿✿✿) පිවිසෙන්න.




8 comments:

  1. හොඳ ලිපියක්. මට මේ දවස් වල තියෙන ලෙඩේ. I take Esomeprazole (Nexium).මිරිස් දාල කන්නෙම නැති තරම්. මත්පැන් ගන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය දින චර්‍යාව වෙනස් වුනාද ලගදී.....

      Delete
  2. අථි මෛථුතන්‍යයෙන් වලකින්න .- මේ මොකක්ද

    ReplyDelete
    Replies
    1. මෛථුතන්‍යයෙන් කියන්නේ ස්වයං වින්දනය.අථි මෛථුතන්‍යය යනු,අධික වූ ස්වයංවින්දනය.එය මෙවැනි රෝගීන්ට අහිතකරයි.

      Delete
  3. එළකිරි බිව්වම අමාශය තුලදී අම්ල බවට හැර වෙනවා.

    ReplyDelete
    Replies
    1. ආමාශය තුලදී වෙන්නේ කිරි කැටි ගැසීමක් පමණයි .ප්‍රෝටීන වල අවසාන ඵලය වන ඇමයිනෝ අම්ල දක්වා ජීරණය සිදුවන්නේ ග්‍රහණිය හා කුඩාඅන්ත්‍රය තුලදී .

      Delete

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...