Saturday, 8 September 2018

දෙවෙනි දිගහැරුම(#2)


කෝඩේටා(පෘෂ්ඨවංශී) වංශය හා   මැමේලියා(ක්ෂීරපායී) වර්ගයට අයත් වන නූතන මිනිසා
(ජීව විද්‍යාත්මක නාමය Homo sapiens sapiens වේ.)
සතුව ප්‍රකාශ ප්‍රතිග්‍රාහක ලෙසට "සංකීර්ණ ඇස්" පවතී.

මුල් පලමු ලිපියේදී (#1) දැක්වූ පරිදි බොහෝවිට කෝඩේටා වංශයේ ජීවීන්ට ලාක්ෂණික ලක්ෂණයක් ලෙසට මෙම "සංකීර්ණ ඇස්" පැවතීම දැක්විය හැකිය.

ඊට අමතරව මොලුස්කා වංශයේ අනෙක් ජීවීන්ගෙන් තරමක් වෙනස් වූ සහ ඔවුන්ට වඩා පරිණාමික ලක්ෂණ දරන "බූවල්ලා" (Octopus) සතුවද මෙම සංකීර්ණ ඇස් පවතී.

Homo sapiens sapiens (නූතන මිනිසා ) සැලකීමේදී ඇස් යුගලක් පවතී.කලින් කියූ ආකාරයට මේවා සංකීර්ණ ඇස් වේ.

මුලින්ම මෙම ඇස් යුගලයේ පිහිටීම සලකා බලමු .

සාමාන්‍ය ව්‍යවහාරයේදී ඇස් මුහුණ තුළ පවතින ලෙසටත් මුහුණ , ඔළුවට අයත් කොටසක් බවට සලකයි.විද්‍යානුකූලව මෙහි සත්‍ය පිහිටීම හදුනාගැනීම සදහා පහත රූප සටහනට අවධානය යොමු කරන්න.






අප ඔළුව ලෙසට හදුන්වන්නේ "හිස්කබලයි".හිස්කබල ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ.

1. කපාලය.
2. වක්ත්‍රය.

Homo sapiens sapiens ගේ ඇස් පිහිටා ඇත්තේ හිස්කබලේ කොටසක් වූ වක්ත්‍රයේ අක්ෂි කූප තුළ ගිලී පවතී .ඇස අක්ෂි කූප බිත්තියට අක්ෂි පේශි මගින් සම්බන්ධ වී පවතී.ඊට අමතරව බාහිරස්ත පේශි ද අක්ෂි කූප බිත්තියට සම්බන්ධ වී පවතී.
බාහිරස්ත පේශි මගින් අක්ෂි කූපය තුළ ඇස කරකැවීම සහ හැරවීම සිදු කරයි.

ඇස ඇතුළු බොහෝ ඉන්ද්‍රියයන් වලට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන්නේ මෙම හිස්කබලයි.හිස්කබල තුල බොහෝ ඉන්ද්‍රියයන් අන්තර්ගතව පවතී .

(උදාහරණ ලෙසට ඇස,කණ,නාසය,දිව ආදි ඉන්ද්‍රියයන් හිස්කබල තුළ පවතිමින් එහි ආරක්ෂාව යටතේ පවතී.හිස්කබලේ අස්ථිමය බිත්ති මගින් මෙම ආරක්ෂාව සපයයි.)



ඇසේ ව්‍යුහය හදුනාගැනීම සදහා ඇසේ දික්කඩ ස්වරූපය පහත සදහන් රූප සටහනෙන් පවතී .






එහි ඇති එක් එක් කොටස් මෙලෙස හදුනාගත හැකිය .
• Conjunctiva            බාහිරස්ත පේශි
• Iris                             තාරාමණ්ඩලය
• Lens                          අක්ෂි කාචය
• Pupils                       කණිනිකාව
• Cornea                     කුණිතය / ස්වච්චය
• Anterior chamber  අම්මය රසය
• Sclera                       ශ්වේතගණ ස්ථරය
• Vitreous body         කාච රසය
• Optic disc                 අන්ධ බින්දුව
• Optic nerve              දෘෂ්ටික ස්නායුව
• Macula                       මධ්‍ය කූපය / කහ ලපය
• Retina                         දෘෂ්ටි විතානය
• Choroid                      රුධිරග්‍රාහය
• Ciliary body               ප්‍රතියෝජක දේහය

මෙහි "ප්‍රතියෝජක දේහය" හා "අක්ෂි කාචය" අතර "ප්‍රතියෝජක පේශි" පවතී.
(එය රූප සටහනේ පෙන්වා ඇතත් නම්කර නැත)




මෙම රූප සටහන හොදින් අධ්‍යනය කරන්න.මුලින් ඇති ඇසේ දික්කඩ රූපයට සමාන වන ඇසේ ඉදිරිපස රූපයක් ලෙසට මෙය නිරූපණය වේ.

මෙමගින් අපට සාමාන්‍යයෙන් අප ව්‍යවහාර කරන ඇසේ එක් එක් කොටස් පිළිබඳව අවබෝධයක් ගතහැකිය.

මුලින්ම ඇසේ ඉදිරිපස රූපයේ ඇති සුදු ඉංගිරියාව ,කළු ඉංගිරියාව හා ඇසේ බබා යන කොටස් ඔබ හදුනාගන්න
(මේවා සාමාන්‍ය ව්‍යවහාරයේදී යොදාගන්නා වචන මිස විද්‍යාත්මක වචන නොවේ.)

දැන් රූප දෙකම එකිනෙක සැසදීමක් සිදුකරන්න.
• සුදු ඉංගිරියාව සෑදී ඇත්තේ ශ්වේතගණ ස්ථරය
 ( Sclera ) මගින් වේ.
• කළු ඉංගිරියාව සෑදී ඇත්තේ තාරා මණ්ඩලය
( Iris ) හා කණිනිකාව( Pupil ) මගින් වේ.
• ඇසේ බබා සෑදී ඇත්තේ කණිනිකාව ( Pupil ) මගින් ය.


ඇස ගෝලාකාර හැඩයකින් යුක්තය.විෂ්කම්භය 25 mm පමණ වේ.ප්‍රධාන වශයෙන් ස්ථර තුනකින් යුක්තවේ.බාහිර සිට අභ්‍යන්තරයට පිළිවෙලින් මේවා,

1. බාහිර තන්තුමය ස්ථරය
2. මධ්‍ය වාහිනීමත් ස්ථරය
3. අභ්‍යන්තර ස්නායුක ස්ථරය

බාහිර තන්තුමය ස්ථරය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ.
(පැහැදිලි කිරීම් කියවන අතරතුරදී රූප සටහනේ ඊට අදාල කොටස් සදහා නැවත අවධානය යොමුකරන්න.)

• ශේවේතඝන ස්ථරය
• ස්වච්චය

ශේවේතඝණ ස්ථරය ඇසේ අපර කොටස පුරා පැතිරී පවතින අතර පූර්ව කොටස තුළ එය අන්තර්ගත නොවේ.මෙය පාරාන්ධ වේ.ස්වච්චය ඇසේ පූර්ව කොටසේ පමණක් පවතින අතර එය අපර කොටසේ නොපවතී.ස්වච්චය පාරදෘශ්‍ය වේ.ශ්වේතගණ ස්ථරය මගින් සාමාන්‍ය ව්‍යවහාරයේදී හදුන්වන " සුදු ඉංගිරියාව " සාදයි .

ශ්වේතගණ ස්ථරයේ කාර්ය වන්නේ,ඇසෙහි බාහිර ආවරණය ලෙසට ක්‍රියාකරමින් ඇසට ආරක්ෂාව සැපයීමයි.
ස්වච්චයේ කාර්ය වන්නේ ඇස තුලට ආලෝකය ඇතුළු කරගැනීම හා ආලෝකයේ කිසියම් වර්තනයක් ඇතිකිරීමයි .

මධ්‍ය වාහිනීමත් ස්ථරය කොටස් තුනකින් යුක්ත වේ.

• රුධිර ග්‍රාහය
• අක්ෂි කාචය
• ප්‍රතියෝජක දේහය

ස්වච්චය හා අක්ෂි කාචය අතර අම්මය රසය පවතී.මෙය තරලයක් වේ.මෙහි කෘතය වන්නේ,ස්වච්චය තුළින් පැමිණෙන ආලෝකය වර්තනය කරමින් ආලෝක කිරණ තවදුරටත් දෘෂ්ටි විතානයේ මධ්‍යකූපය දෙසට යොමුකිරීමයි.

මුලින් අප සදහන් කළ ශ්වේතගණ ස්ථරයේ හා ස්වච්චයේ රුධිර වාහිනී වල පිහිටීමක් නැත .රුධිර ග්‍රාහය තුල රුධිර වාහිනී අධික ලෙසට පවතී.රුධිර ග්‍රාහය ඇසේ සම්පූර්ණ අපර දෙසට පවතින අතර පූර්ව දෙසට කිසියම් කොටසක් නොපවතී .එම රුධිරග්‍රාහය නොපවතින පූර්ව කොටසේ අක්ෂි කාචය,ප්‍රතියෝජක දේහය හා ප්‍රතියෝජක පේශි පිහිටයි.

අක්ෂි කාචය පාරදෘශ්‍ය වේ.මෙය හැඩය වෙනස් කළ හැකි ප්‍රත්‍යාස්ථ බවකින් යුක්ත වේ.අක්ෂි කාචය දෙපසින් සම්බන්ධ වී ඇත්තේ ,ප්‍රතියෝජක දේහ වලට වේ.අක්ෂි කාචය මෙසේ ප්‍රතියෝජක දේහ වලට සම්බන්ධ වී ඇත්තේ ප්‍රතියෝජක පේශි වලින් වේ.මෙම ප්‍රතියෝජක පේශි "සිනිදු පේශින්" *වේ.එනම් ,එම ප්‍රතියෝජක පේශි වල ක්‍රියාව අනිච්චානුග* ක්‍රියාවලියක් වේ.

තුන්වෙනි ලිපියෙන්(#3) නැවත හමුවෙමු.................

( * ) ලකුණු යොදා ඇති පද සදහා විද්‍යාත්මක පැහැදිලි කිරීම් ÷

• සිනිදු පේශි = මුල් ලිපියේ පැවසූ ආකාරයට පේශි යනු කාරකයක් වේ.එනම් ,ප්‍රතිචාර දැක්වීමට සහභාගී වන්නේ මෙම පේශි වේ.ප්‍රධාන වශයෙන් පේශි ආකාර තුනක් පවතී.

1. කංකාල පේශි
2. සිනිඳු පේශි
3. හෘද් පේශි

මේවායේ කෘතයමය (ඉටු කරන කාර්ය ) හා ව්‍යුහමය වෙනස්කම් අනුව මෙලෙස බෙදීමකට ලක්කර ඇත .

• අනිච්චානුග ක්‍රියා = සරල පැහැදිලි කිරීම වන්නේ ,සිතීමකින් තොරව ඉබේම සිදුවන ක්‍රියාවලීන් යන්නයි.
මෙම ක්‍රියාවන්ට මොළය ප්‍රමුඛ මධ්‍ය ස්නායු පද්ධතිය සහභාගී නොවී ස්වයංසාධක ස්නායු පද්ධතිය සහභාගී වේ.එහිදි,සුසුම්නාව ප්‍රමුඛ වේ.

D.H.S.L
*************************


Facebook  ඔස්සේ "දිනපොත - Dairy" පිටුව සදහා එක්වී නවතම ලිපි කියවීමට  මෙතනින්  යොමුවන්න

===============================











2 comments:

  1. සිංහල වචන ටිකක ඉගෙන ගන්න පුළුවන් අවයව වලට කියන

    ReplyDelete
    Replies
    1. අවයවද ? නැත්නම් ඇසේ කොටස් ද?

      Delete

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...