Sunday 30 September 2018

මධුමේහය / දියවැඩියාව (Daibetes )

"මධුමේහය"/ දියවැඩියාව ( Daibetes ) පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක මතය හා ප්‍රථිකාර ක්‍රම

✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

÷ "ඇයි,මේ ඔයා ගොඩාක් කෙට්ටු වෙලා"

÷ " මට මේ දවස් වල සීනි නේ,ඒකයි මේ......"


මෙය මාහට කන වැකුණු දෙබසකි.සමහර විටෙක මෙවැනි කතා ඔබටත් ඇසී ඇතැයි මා සිතමි,එමෙන් ඔබත් විටෙක දියවැඩියා රෝගියෙකු විය හැකිය.

දියවැඩියාව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී "මධුමේහය" නමින් හදුන්වයි.දියවැඩියාව (Daibetes) යනු,බෝනොවන රෝගයකි.නූතන පරීක්ෂණ අනුව මෙය සෑදීම සදහා ප්‍රවේණික සාධක බලපෑම් ඇතිකරත් මෙම රෝගය සෑදීමේ ප්‍රධාන හේතුව වන්නේ මනා කළමණාකාරීත්වයෙන් තොර වූ ජීවිත පැවැත්මයි.

මධුමේහය (Daibetes) යනු,රුධිරයේ පවතින ග්ලූකෝස් ප්‍රමාණය නියමිත අගයට වඩා වැඩි ප්‍රමාණයක් පැවතිමයි.

දියවැඩියාව යන වචනය සමග නිතරම කියවෙන අනික් වචනය වන්නේ "ඉන්සියුලින්" යන්නයි.දියවැඩියාව ඇතිකිරීමට බලපෑම් ඇතිකරන්නේ මෙම "ඉන්සියුලින්" නැමැති රසායනිකයයි.

"ඉන්සියුලින්" යනු,හෝමෝනයක් (Hormone ) වේ.මෙය "අග්න්‍යාසය" නැමැති ග්‍රන්ථය තුළ නිපදවීමක් වේ.අප ලබාගන්නා ආහාර වලින් අවසානඵලය වන ග්ලූකෝස් (Glucose ) සෛල තුලට ඇතුළු කරගැනීම යාමනය කිරීම මගින් රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය නියමිත අගයක පවත්වාගැනීම ඉන්සියුලින් හෝමෝනය මගින් සිදුකරයි.මෙම හෝමෝනය නිපදවීමේ ශීඝ්‍රතාවයේ අඩුකම හෝ නිපදවන ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවයක් නිසා මධුමේහය තත්වය ඇතිවේ.

ආයුර්වේදයට අනුව දියවැඩියාව /මධුමේහය සෑදීම සදහා ජීවන ක්‍රමයේ බලපාන හේතු වන්නේ ,

1. උදාසීන දිවිපෙවෙත හා අධික කම්මැලි බව

2. ශාරීරික ව්‍යායාම අවම වීම හා අධික පැය ගණනක් නිදාගැනීම.

3. අධික ලෙස මීකිරි ආහාරයට ගැනීම හා ගෘහාශ්‍රිතව ඇතිකරන සතුන්ගේ(කුකුළන් ,එළුවන් ,ඌරන්,......) මස් අධික වශයෙන් අනුභවය හා මස් වල සුප් අධික ලෙස පානය කිරීම.

4. ජලයේ වෙසෙන සතුන්ගේ (කකුළුවන් ,බෙල්ලන්,ඉස්සෝ)මස් හා ඒවායින් සාදන සුප් අධික ලෙසට පානය කිරීම.

5. අධික ලෙසට කිරි පානය කිරීම .

6. අළුත් ධාන්‍ය වර්ග හා ඒවායින් සෑදූ වෙනත් ආහාර වර්ග ,සීනි හා තෙල් සහිත ආහාර අධිකව ආහාරයට ගැනීම

7. අධික ලෙසට මානසික ආතතියක් පැවතීම .

මධුමේහය මගින් දේහයේ විවිධ කොටස් වලට බලපෑම් ඇතිකරයි.එනම් ,විවිධ කොටස් ආශ්‍රිතව විවිධ සංකූලතාවයන් ඇතිවිය හැකිය.

1. ඇස් ආශ්‍රිතව බලපෑම් ඇතිකරමින් ග්ලූකෝමා තත්වය ඇතිකිරීම නිසා ඇස් අන්ධ වීම.

2. පාද ආශ්‍රිතව සංකූලතාවය නිසා හිරි වැටීම.

3. පාද වල හිරි වැටීම නිසා තමන්ට නොදැනීම පාද වල තුවාල ඇතිවීම,පාද කරු කැපිම හා පාද වල අසාමාන්‍ය දැවිල්ලක් ඇතිවිම.

4. වකුගඩු අකර්මණ්‍ය වීමේ අවදානමක් පවතී .

5. මතක ශක්තිය හීනවීමේ අවධානමක් ඇත.

6. ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම.

සාමාන්‍ය පුද්ගලයන්ට මධුමේහය නිසා බොහෝ වශයෙන් ඇතිවෙන අපහසුතාවය වන්නේ පාද වල සංකූලතාවයන් ඇතිවීම නිසා පාද හිරිවැටීම හා නොදැනුවත්වම තුවාල ඇතිවීමයි.බටහිර වෛද්‍ය විද්‍යාවේදී සිදුකරන්නේ ඖෂධ වලින් මෙම තුවාල සුව නොවූ පසු ශල්‍යකර්මයන් සදහා රෝගීන් යොමුකිරීමයි.

නමුත් ,ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මුලින්ම රුධිරයේ අඩංගු සීනි ප්‍රමාණය නිසි ආකාරයෙන් යාමනය සදහා ප්‍රථිකාර කරයි.දෙවනුව පාද වල ස්නායු උත්තේජනය කිරීම සදහා විශේෂිත තෛල ප්‍රථිකාර ක්‍රම භාවිතා කරයි.එහිදී පාද වල තුවාල සෑදී ඇත්නම් ශල්‍යකර්ම වලින් තොරව තුවාල සුවකල හැකි ආයුර්වේද ඖෂධ යොදාගැනීමක් සිදුවේ.

ආයුර්වේද වෛද්‍යවරයෙක් හමුවට මධුමේහ රෝගියෙකු පැමිණි පසු මුලින්ම මෙම රෝගියා ඔහුට හෝ ඇයට ඇති රෝග තත්වය අනුව හා රෝගය නිසා ඇතිවන සංකූලතාවල ස්වාභාවය අනුව කාණ්ඩ කිරීමකට ලක්කරයි.එහිදී ,අපට කාණ්ඩ තුනක් (03) හදුනාගත හැකිය.

• පලමු කාණ්ඩය
 
රෝගීන්ගේ රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය ආහාර පාලනයෙන් පමණක් රෝගය පාලනය කළ හැකි රෝගීන්.

• දෙවනි කාණ්ඩය

රෝගීන්ගේ රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය ආහාර හා ව්‍යායාම යන දෙකෙන්ම රෝගය පාලනය කල හැකි රෝගීන්.

• තෙවන කාණ්ඩය

ආහාර,ව්‍යායාම මෙන්ම ඖෂධ යන අවස්ථා තුනම භාවිතා කර රුධිර ගත ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කල හැකි රෝගීන්.

මධුමේහය තත්වය සදහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මුලින්ම ප්‍රථිකාර කරන්නේ රෝග මූලයට වේ.එනම්,නිසි කළමණාකාරී බවකින් යුතු සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් ඇතිකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මධුමේහය පාලනය සදහා ලබාදෙන උපදෙස් හා ඒවායේ විද්‍යාත්මක පසුබිම පිළිබඳව සලකාබලමු .

• නිවැරදි ආහාර භාවිතය හා ප්‍රමාණවත් ලෙසට ආහාර ගැනීම හෙවත් අධිපාරිභෝජනයෙන් තොරවීම.

• දිනපතා විනාඩි 30 - 40 ක් පමණ ව්‍යායාම වල නිරතවීම.

• මානසික ආතතියෙන් මිදීම සදහා යෝග ව්‍යායාම,මෘදු සංගීතයට සවන්දීම,භාවනා කිරීම,මාළු ටැංකියක් දෙස බලාසිටීම වැනි ක්‍රියාකාරකම් වල නියැලිම.

මධුමේහය සදහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී නිවැරදි ආහාර රටාවකට හුරුවීම ප්‍රමුඛ කාර්‍යක් ලෙසට උගන්වයි.මෙහිදී නිවැරදි ආහාර රටාවකට හුරුවීම සදහා රෝගියාට පහත සදහන් උපදෙස් ලබාදීම සිදුවේ .

• මුලින්ම රෝගියාගේ බලය / ශක්තිය වැඩිකරන ආහාර ලබාදිය යුතුය .

මේ සදහා සහල් , තිරිඟු , තණහාල්, කුරක්කන් , මෙනේරි හා බාර්ලි යන ධාන්‍ය වර්ග යොදාගත හැකිය.

කුරක්කන් මධුමේහ රෝගීන් සදහා ගුණාත්මක බවින් වැඩි ආහාරයක් වේ.එමගින් තරබාරුව පාලනය කරන අතර ඉන්සියුලින් ශරීරය තුළ නිපදවීම සදහා අවශ්‍ය සංඝටක බහුල ලෙසට පවතී .ඒකාකාරි බවින් යුතුව කුරක්කන් ආහාර අනුභවය රෝගියා ප්‍රථික්ෂේප කරන්නේ නම් ,කුරක්කන් අඩංගු විවිධ ආහාර පිළියෙල කළ හැකිය .(කුරක්කන් තලප ,කුරක්කන් පිට්ටු,කුරක්කන් කැද ,කුරක්කන් ඉදිආප්ප..........)

• නිවුඩ්ඩ සහිත ආහාර අනුභවය වඩාත් සුදුසු වේ.

විශේෂයෙන්ම නිවුඩ්ඩ සහිත ආහාර වර්ග අතුරින් රතු නිවුඩ්ඩ සහිත තැම්බූ සහල් වර්ග ආහාරයට ගැනීම සුදුසු වේ.

• උදෑසන ආහාරය සදහා හීල්බත්,දියබත් හා සුණුසහල් බත් අනුභවයට ගැනීම සුදුසු වේ.

• පැල කරගත් මුංඇට ආහාරයට ගැනීම මධුමේහය සදහා යෝග්‍ය වේ.

• හැකිතාක් දුරට ස්වාභාවික එළවළු වර්ග අමුවෙන් අනුභව කල යුතුය .

මේ සදහා ගොටුකොළ සලාද හා ගොටුකොළ යුෂ.කතුරුමුරුංගා සලාද හා කතුරුමුරුංගා යුෂ,පිපිඤඤා සලාද හා පිපිඤඤා යුෂ සුදුසු වේ.මේවා හැකිතාක් දුරට අමුවෙන් අනුභවය උචිත වේ.

• ඝෘජු ලෙසටම මධුමේහය සදහා සුදුසු එළවළුවක් ලෙසට කරවිල නිර්දේශ කළ හැකිය.මෙයත් හැකිතාක් අමුවෙන් සලාද වශයෙන් අනුභවය ඉතාමත් යහපත් වේ.

කරවිල තුළ ශාක ඉන්සියුලින් අඩංගු වේ.එමගින් මධුමේහය විශාල වශයෙන් පාලකයක් සිදුකරයි.

• කරපිංචා,සුදුළූණු,රතුළූණු ද මධුමේහ රෝගීන් සදහා ගුණදායක වේ.

• මධුමේහය රෝගීන් සදහා ගුණදායක පළතුරු වර්ගයන් ලෙසට වෙරළු ,පේර,අත්තික්කා,දෙළුම් ,අන්නාසි, කාමරංකා ද පැගිරි කුලයේ පළතුරු ලෙසට දෙහි,දොඩම්,ජම්බෝල,ගස්ලබු ,නාරං, අන්නාසි, මාදං වැනි පලතුරු ගුණාංගය වේ.

මේවා බොහෝමයක් තන්තු සහිත පළතුරු වර්ගයන් වේ.එමගින් මධුමේහය පාලනයට දායක වේ.

කාබෝහයිඩ්‍රේට් අඩංගු අප ලබාගන්නා ආහාර වල අවසාන ඵලය බොහෝ අවස්ථා වලදී වන්නේ ග්ලූකෝස් වේ.මධුමේහය සදහා ප්‍රධාන හේතුව වන්නේ මෙම රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය නිසි ආකාරයෙන් පාලනය කරගත නොහැකි වීමයි.එහිදි ,ආහාරය මගින් රුධිරගත වන ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කරගන්නේ නම් මධුමේහය නිසි ආකාරයෙන් පාලනය කරගත හැකිය.

කාබෝහයිඩ්‍රේට් ආහාර අප සාමාන්‍යයෙන් බහුල වශයෙන් ආහාරය සදහා ලබාගන්නේ පිෂ්ඨ ආහාර ස්වරූපයෙනි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පිෂ්ඨ ආහාර වර්ග දෙකකට වෙන්කරයි.

• සරල කාබෝහයිඩ්‍රේට ආහාර

මේවා ආහාරයට ගැනීම මගින් ඉක්මනින් ජීරණයට ලක්වී ඉක්මනින් විශාල ග්ලුකෝස් ප්‍රමාණයක් රුධිරය වෙතට යොමු කරයි .රෝගියාගේ නිසි ඉන්සියුලින් හෝමෝන ප්‍රමාණයක් නොවු කළ මෙසේ වූ විට ක්ෂණිකව රුධිර ග්ලූකෝස් මට්ටම ඉහල ගොස් මධුමේහය තත්වය උත්සන්න වේ.

ක්ෂණික ආහාර සහ ටොෆී , චොකලට් , හකුරු, සීනි වැනි ආහාර වර්ග මෙම සරල කාබෝහයිඩ්‍රේට ආහාර ලෙසට හැදින්විය හැකිය.

• සංයුක්ත කාබෝහයිඩ්‍රේට ආහාර

මේවා ආහාරයට ගැනීම මගින් ඉක්මනින් ජීරණයට ලක් නොවේ.එහිදී රුධිරයට ක්ෂණිකව එකතු වන ග්ලූකෝස් ප්‍රමාණය අවම අගයක් ගනී.එමනිසා අඩු ඉන්සියුලින් ප්‍රමාණයකදි වුවත් රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය නිසි ආකාරයකට පාලනය වීමක් සිදුවේ.එමනිසා මධුමේහය තත්වයක් ඇතිනොවීම හෝ පවතින මධුමේහ තත්වය පාලනය වීමක් මනාලෙසට සිදුවේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී අනුමත කරන්නේ මෙවැනි සංයුක්ත කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාරයන් වේ.මේවා ලෙසට,

1. නිව්ඩු සහලේ බත්
2. කුරක්කන්
3. තණහාල්
4. පැරණි සහල් වර්ග
5. තන්තු බහුල එළවළු හා පළතුරු වර්ග (ඉහතින් දක්වා ඇත.)
දැක්විය හැකිය.

මීට අමතරව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මධුමේහය සදහා ප්‍රත්‍යක්ෂ වූ ඖෂධ පෙළක් පවතී .නෙල්ලි,කොහොඹ,කොතල හිඹුටු,කහ වැනි ඖෂධීය ශාක වලින් සාදන ක්ෂාය, කල්ක, චූර්ණ, ගුලි , තෛල ආදිය ඖෂධ වශයෙන් භාවිතා කරයි.

මූලික වශයෙන් අවශ්‍ය වන්නේ තම එදිනෙදා ජීවිතය මනාකළමණාකාරීත්වයෙන් යුතුව පවත්වාගැනීමයි.එය තුළින් ඔබට වුවත් ඖෂධ වලින් තොරව නීරෝගී ජීවිතයක් ගතකළ හැකිය.

D.H.S.L

Facebook ඔස්සේ " දිනපොත - Dairy " පිටුව සමග ඔබට මෙතනින් එකතු විය හැකිය.
නව ලිපි ඔබට එමගින් පහසුවෙන් කියවීමට අවස්ථාව උදාකර ඇත.




2 comments:

  1. HONDA LIPIYAK. BOHOMATHMA STHUTHI...DIGATAMA LIYANNA,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ......අනෙක් ලිපිත් බලන්න

      Delete

"දිනපොත" පෙරවදන

පෙරවදන

******************** "දිනපොත" යනු භෞතික සංරචකයක් වුවත් , එය සමහරුන්ගේ ආධ්‍යාත්මීය ගැලපුමකි.හෘදසාක්ෂිය නිරූපණය වන්නේ මෙම "දින...